Monday 6 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (7) ක්‍රියාමූලික පර්යේෂණයත් රංගනයකි.



අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (7) ක්‍රියාමූලික පර්යේෂණයත් රංගනයකි.
1. ක්‍රියාමූලික පර්යේෂණ (අනෙකුත් පර්යේෂණවල දී මෙන්) අනෙක් අය හෝ අනෙක් දේ ගැන කරන පර්යේෂණයක් නොවේ. පර්යේෂණය කරන වෘත්තිකයා වන මගේ ම (උදා-ගුරුවරුන්, හෙදියන්, වෙළෙදපොළ බඩු විකුණන්නන් වැනි ඕනෑ ම වෘත්තියක නියැළෙන මගේ ම) භූමිකාවේ සංවර්ධනය අපේක්ෂාවෙන් ද මගේ භූමිකාවට සම්බන්ධ අනෙක් අය (උදා- ශිෂ්‍යයන්, රෝගින්, බඩු මිලට ගන්නන්) සංවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ද ක්‍රියාමූලික පර්යේෂණ කරනු ලැබේ. මේ අනුව මා හා මගේ වෘත්තියට සම්බන්ධ අය එකතු වී කරන පර්යේෂණයක් මිස, තමාට බාහිර අය දත්ත රැස් කිරීමට භාජනය කරන්නන් ලෙස සලකා ක්‍රියාමූලික පර්යේෂණ කළ නො හැකි ය. මේ අදහස අනුව, ක්‍රියාමූලික පර්යේෂණ කරන විට පළමු ව වෙනස් විය යුත්තේ පර්යේෂණය කරන මා ය. දෙවනු ව මගේ සේවාදායකයන් වෙනස් කළ හැකි ය. නැති නම් දෙපාර්ශ්වයේ ම වෙනස එක වර අපේක්ෂා කළ යුතු ය.
2. ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ගේ අධ්‍යාපන ක්‍රියාමූලික පර්යේෂණ සම්ප්‍රදාය, ප්‍රමාණාත්මක ව වර්ධනය වී ඇත. එහෙත් ගුණාත්මක සංවර්ධනය සදහා ගුරුවරුන් ක්‍රියාමූලික පර්යේෂණ කරන විට දී ශිෂ්‍යයන්ගේ වෙනස පමණක් අපේක්ෂා නො කර ගුරුවරයා වන මගේ වෙනස ගැන ද සිතිය යුතු ය.
මේ බව දැනවීමට උචිත වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයෙන් බාගත කර ගතිමි. මෙහි Twinkle ළමා ගීය ගයන ගායිකාව ගුරුවරියක යැයි සිතන්න. ඇය තමා දෙස බලා සිටින විවිධ වයස්වල-විවිධ පසුබිම්වල ප්‍රේක්ෂක පිරිස පිනවීමට තම රංගනය ද ගායනය ද වෙනස් කරන අයුරු නරඹන්න. ඒ අනුව ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ද වෙනස් වන අයුරු බලන්න. ගුරුවරයකු විවිධ ළමයින්ගේ විවිධ ලක්ෂණ අනුව තම පාඩම් උගැන්වීමේ ශෛලිය ද වෙනස් කර ගත යුත්තේ මෙසේ ම ය. ගුරුවරයාට ක්‍රියාමූලික පර්යේෂකයකු විමට හැකි වන්නේත් එවිට ය.
3. TEACHER යන පදයේ අකුරු 7 මෙසේ අර්ථ ගැන්විය හැකි ය.
T = Trainer = පුහුණු කරන්නෙක් උදා- අකුරු ලිවීමට-දිවීමට
E = Educationist = අධ්‍යාපනඥයෙක් උදා- අධ්‍යාපනය ගැන පිරුණු දැනුමක් ඇත්තෙක්
A = Actor = රගපාන්නෙක් උදා- විවිධ පාඩම්වල දී විවිධ ලෙස හැසිරිය යුතු ය
C = Coordinator = සමායෝජකයෙක් උදා- විවිධ ක්‍රියාකාරකම් සමබර ව ඉටු කිරීම
H = Healer = සුවපත් කරන්නෙක් උදා- ශිෂ්‍ය ගැටලුවලට විසදුම් දෙයි
E = Executive = විධායකයෙක් උදා- අවශ්‍ය විට බලය පා සිසුන් පාලනය කරයි. වෘත්තීය සමිති ද මෙහෙයවයි
R= Researcher = පර්යේෂකයෙක් උදා- නව ඉගැන්වීම් ක්‍රම සොයා යයි.
4. පර්යේෂකයකු වන ගුරුවරයාට කෙසේ නඵවකු විය හැකි ද? දිලීප් කුමාර් මධුමතී චිතුපටයේ රගපෑ ගීත දෙකක් නරඹා මෙය තේරුම් ගනිමු. (එක ගීයක් මෙසේ ය. එය බාගත කිරීම අපහසු ය. එය මෙතැනින් බලන්න (https://www.youtube.com/watch?v=aSU74fpWsfQ). සතුට සහ දුක මුසු අවස්ථා දෙක දිලීප් නිරූපණය කරන්නේ ඒ ඒ චරිතයට ගැළපෙන ලෙස වෙනස් ව රගපෑමෙනි. ඔහුගේ මුහුණෙහි ඉරියව්, ගමන් රටා, ඇදුමේ පිළිවෙළ ගීත දෙකේ දී වෙනස් වන අයුරු බලන්න. පරිසර දෙක ද වෙනස් ය. සතුට සහිත ගීතයේ ආලෝකමත් බව වැඩි ය. දුක සහිත ගීයේ පසුබිම අදුරු ය. කැමරාව චලනය වන අයුරු ද ගීත දෙකේ වෙනස් ය. සංගීත ස්වර ද රිද්මය ද වෙනස් ය. ගුරුවරයා රගපාන්නකු නම්, ඒ ඒ පාඩම අනුව ගුරුවරයා කෙතරම් වෙනස් විය යුතු දැයි කල්පනා කරමින් ගීත දෙක රස විදින්න. මේ වෙනස් වීම ක්‍රියාමූලික පර්යේෂණයේ පදනමයි
https://www.facebook.com/godwin.kodituwakku/videos/10156649601176124/
https://www.facebook.com/godwin.kodituwakku/videos/10156649602311124/






No comments:

Post a Comment