Saturday 24 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (36) පරිකල්පනයට ඉඩ දෙමු- රාබු අලය ගැලවියෝ ළමා කතාව


අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (36) පරිකල්පනයට ඉඩ දෙමු- රාබු අලය ගැලවියෝ ළමා කතාව

රුසියානු ජන කතාවක් ඇසුරින් රචිත ළමා කතාවක, සිංහල පරිවර්තනය ('රාබු අලය ගැලවියෝ')  ප්‍රසංසා කලුකෝට්ටෙගේ සතු ය. ප්‍රසංසා, ජපන් ළමා කතා ද පරිවර්තනය කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක-කථිකාචාර්වරියක ලෙස සේවය කරන ප්‍රසංසා, ජපන් ළමා කතා ද පරිවර්තනය කර ඇත. ඇය ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැත්වූ වැඩමුඵවක දී, ළමා කතා පොතක් සහභාගි වූ ළමයින්ට කියවූ ගුරුතුමියකට දුන් උපදේශය වූයේ, පොතේ ඇති කතාව, පොතේ ලියා ඇති විධියට ම කියන ලෙසත් ඒ පිළිබඳ අමතර විස්තර කිරීමෙන් වළකින ලෙසත් ය. මෙයින් අපේක්ෂා කළේ පොත අතැති ව සිටින ළමයිනට පොතේ ලියා ඇති දැ ද චිත්‍රය ද ඇසුරින් ඇසුරින් පරිකල්පනය සඳහා ඉඩ ලබා දීමට ය. එය පොත කියා දෙන ගුරුතුමියගේ භූමිකාව නො වේ.
දැනුමට වඩා පරිකල්පනය වැදගත් බව අපි දනිමු. අපට ඒ දැනුම තිබුණත්, අප පනිත් කාමරයේ දී පරිකල්පනයට ඉඩ නො දෙන බව ද අපි දනිමු.   මේ සමග පළ වන පිටුවේ ඇති තනි වාක්‍යය (පූසා මීයාව එක්කගෙන ආවා.) සහ ආශ්‍රිත චිත්‍රය අනුව ඔබට ඇති වන පරිකල්පනය ගැන සිතන්න. ඒ අනුව ඔබ මේ පිටුවේ වාක්‍යය සහ පොත ළමයිනට කියවන්නේ නම් (කියා දෙන්නේ නමි නො වේ), ළමයින්ට ඇති විය හැකි පරිකල්පන චින්තා ගැනත් පරිකල්පනය කරන්න. 


Tuesday 20 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (35 ) පාසල් සංවර්ධනය සහසබැදි ක්‍රියාමූලික පර්යේෂණ ව්‍යවහාර: ශ්‍රී ලාංකේය අත්දැකීමක්



2003 සහ 2004 දී, යුනෙස්කොවේ ශ්‍රී ලංකා ශාඛාව, ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ, ළමයින්ට ඉගෙනුම ලැබීමට, සාමකාමී සහ ගැටුමින් තොර පරිසර පවතින ශ්‍රී ලාංකික පාසල්වල යහපත් ව්‍යවහාර, ලේඛනගත කරන ලෙසයි. ඒ සඳහා, ඒ වන විට යහපත් ව්‍යවහාර පැවති පාසල් ලෙස දන්කොටුව බාලිකා විද්‍යාලය, ත්‍රිකුණාමල ශාන්ත මේරි බාලිකා විද්‍යාලය, අනුරාධපුරයේ පෙරිමියන්කුලම අශෝක විද්‍යාලය, කොළඹ නගරශාලාව අසල පිහිටි ප්‍රෙස්බිටිරියන් බාලිකා විද්‍යාලය සහ මහනුවර ඊරියගම ශ්‍රී පුෂ්පදාන විද්‍යාලය  නම් කර, ඒ පාසල්වල ව්‍යවහාර අධ්‍යයනයට උචිත යැයි ද දන්වන ලදී. ඒ අනුව දත්ත රැස් කර වාර්තාව (Educating the child in a peaceful and conflict Free School: Good practices in Sri Lankan schools) සැකසීම සඳහා ඩී.ඒ.එස්.ඩී. රත්නායක, එස්.ඒ සුසිලාවතී, එල්.ඩී.ටී සිල්වා, කේ.ජී. රණසිංහ, එම්.ඒ.පී මුණසිංහ, එම්.ඒ.ඒ.එස්. ඩයස්, ඩී.එම්.ඒ. උයන්වත්ත, ඩබ්.එම් සෝමරත්න සහ ජේ.එස්.එන්.පී. ධර්මවර්ධන මට සහාය වූහ.
පර්යේෂණයට අදාළ පාසලක් වන මහනුවර දෙනුවර ඊරියගම ශ්‍රී  පුෂ්පදාන ආදර්ශ මහා විදුහල ආශ්‍රයෙන් මා සමඟ ඩබ්.එම් සෝමරත්න ලියූ ලිපියක්  මීපේ කළමනාකරණ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පළ කළ 'අධ්‍යාපන කළමනා' සඟරාවේ 2014 කලාපයක පළ විය (දරුවන්ටත් දෙමාපියන්ටත් පාසල බරක් නොවිය යුතු ය: ඩබ්. පී. පියතිලක මහතාගේ පාසල් පාදක කළමනාකරණ දර්ශනය සහ ක්‍රියාකාරි සැලැස්ම පිළිබඳ හේතු තුලනාත්මක ප්‍රත්‍යෙක අධ්‍යයනයක්).  ඊරියගම ශ්‍රී  පුෂ්පදාන ආදර්ශ මහා විදුහලේ යහපත් ව්‍යවහාර පිළිබඳ ව එකල ලියූ  තවත් ලිපියක් මේ සමඟ සතුටින් පළ කරමි. ඒ සමඟ ම 2004  දී පාසලේ දී ලබා ගත් ඡායාරූප කිහිපයක් ද පළ කරමි.
සොහොනක් අසල තිබූ, විනය පිරිහුණු පාසලට, තම දරුවන් එවන්නට අකැමැති වූ දෙමාපියන්ගේ සිතිවිලි වෙනස් කරන්නටත්  විදුහලේ ගලකින් වැසී තිබූ හිස් බිම, මලින් බර වූ බිමක් කරන්නටත් සාමකාමි ව හැසිරෙන ළමයින් සිටින පාසලක් කරන්නටත් අවශ්‍ය පෙෘරුෂය සහිත වූ ඩබ්.පී. පියතිලක විදුහල්පතිතුමා, බාහිර ව බැලූ විට සරල ඇදුමකින් සැරසුණු පුද්ගලයෙක් විය. පාසලේ භෙෘතික පරිසරය මෙසේ වෙනස් කරන්නට කෘෂිකර්මය විෂයය පිළිබඳ එතුමාගේ ප්‍රවීණතාව ද ඉවහල් වන්නට ඇත.  
විදුහල පිළිබඳ පර්යේෂණය කියවූ මහනුවර ගුරුතුමියක, ඇයගේ අපූරු අත්දැකීමක් මට මෙසේ පළ කළා ය. ඇය පැවසුවේ මහනුවර පැවති වැඩමුඵවක දී වූ සිද්ධියකි.  "වැඩමුඵවට පළමු ව දේශනයක් කළේ,  සුදු ටයිකෝට් හැඳි, මහනුවර ජාතික පාසලක විදුහල්පතිවරයෙකි. පියතිලක මහතා කඵ කලිසමක් සුදු කමිසයක් පමණක් හැඳ වේදිකාවේ දී ස්වකීය අත්දැකීම් ප්‍රකාශ කරන විට, ජාතික පාසල් විදුහල්පති, වේදිකාවේ සිටීමට ලජ්ජාවෙන් මෙන්, වේදිකාවෙන් බැස විත්, ශාලාව පසුපසට වී ළග සිටි අයකු හා පියතිලක මහතාට උපහාසයෙන්  විහිඵ තහඵ කරමින් සිටියේ ය. සුදු ඇදුමින් සිරුර වසා ගත් නමුත් දේශපාලන ඇම්බැට්ටයකු වූ ද  ජනප්‍රිය යයි සම්මත පාසලක හිඳ කාලය ගත කළා මිස නව නිර්මාණයක් නො කළා වූ ද නිසා සුදු ඇඳුමේ කඵ, සමාජ සංජානන අනුව, තවරා ගත් ඊනියා ජාතික පාසල් විදුහල්පතිගේ භූමිකාවට වඩා, සරල ගති පැවතුම් ඇති පියතිලක මහතාගේ විදුහල්පති භූමිකාව අතිවිශිෂ්ට ය."

Saturday 10 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (34) පර්යේෂකයකු වීම සඳහා අප සතු පර්යාලෝකය වෙනස් කර ගනිමු; පළල් කර ගනිමු.


කීර්ති ලංකාරත්න හෙවත් විස්ලින් (Whistling) කීර්ති විසින් 'ආදරයේ සිවුරුහන් හඬ' යන තේමාවින් විස්ල් හඬින් නිර්මාණය කරන ලද සංගීත ඛණ්ඩයට (1 වන වීඩියෝව) සවන් දෙමින්, දිස් වන රූප රාමු පෙළ නරඹන විට, ඔබට ඇති වන සිතුවිලි මොනවා ද? ඉන්දියානු නිළි අයිශ්වර්යා රායි සහ ෂාරුක් ඛාන් ද තවත් නාඳුනන හින්දි යුවලක් ද චීන හැඩහුරුකම සහිත යුවලක් ද ප්‍රංශයේ අයිෆල් කුළුණ පසුබිමින් දැක්වෙන දර්ශනයක් දෙස බලන යුවලක් ද හඳක් සහ කාන්තාවක් සහිත රූපරාමුවක් ද ඇතුඵ රූප දකින ඔබට ඔබේ අත්දැකීම් පදනමි කර ගෙන, විවිධ අදහස් මනසේ ඇති වන්නට ඇත. ඔබේ කනට ඇසෙන විස්ල් හඬ සහිත සංගීතය මෙන් ම ඇසට පෙනෙන මේ දර්ශන ද නිසා ඔබේ සිතට දැනෙන කරුණුවලට අමතර ව, ඔබට හුරුපුරුදු ශ්‍රී ලංකාවේ ගීතයක් ද මතක් වෙන්නට ඇත. එනම් එච්. ආර්. ජෝතිපාල ගායනා කළ 'අඬන්නෙ ඇයි සුදු මැණිකේ' යන ගීතයයි (2 වන වීඩියෝව). එකී ගීතයේ පදවලින් ඇඟවෙන අදහස් නිසා ඔබට රූප දකින විට ඇති වන අදහස්වලට වඩා වෙනත් ආකාරයක අදහස් ද පහළ වන්නට පුළුවන. මේ ආකාරයෙන් ඔබේ සිතේ මතු වන විවිධ පර්යාලෝක ගැන සැලකිල්ලෙන් සිත යොමු කරන්න.
          මට මේ නිර්මාණය අසන විට මතක් වූ කරුණක් වූයේ 'හොඳ ම සංගීත භාණ්ඩය මිනිස් කටහඬ' යන්නයි'. කටහඬෙහි පාර්ශ්වයක් ලෙස සැලකිය හැකි සිවුරුහම් හඬ නිර්මාණාත්මක ව යො දා ගැනීම ගැනත් මට සිතුවිලි පැමිණියේ ය. Clint Eastwood රඟපෑ For a Few Dollars More යන 1973 දී පමණ නැරඹූ කව්බෝයි චිත්‍රපටය ද මට මතක් විය (https://www.youtube.com/watch?v=D6bjFNMJDc4 බලන්න). ඔබට මේ අදහස් දෙක පැමිණියේ ද? පිළිතුර 'ඔව්' හෝ 'නැත' විය හැකි ය. වඩා වැදගත් වන්නේ, 'පර්යාලෝක Perspective' යනු, පුද්ගලයා අනුව වෙනස් වන බව තේරුම් ගැනීමයි. පර්යේෂකයකු වීම සඳහාත් ජීවිතය වඩා හොදින් තේරුම් ගැනීම සදහාත් අප සතු පර්යාලෝක, සමහර විට වෙනස් කර ගන්නට සිදු වේ.
           දැන් අපි විස්ලින් කීර්තිගේ සහ ජෝතිපාලගේ නිර්මාණවලට පදනම් වූ, මුල් නිර්මාණය සොයා යමු. මේ ගමනේ දී, සමාන තනුව සහිත ව ගැයෙන හින්දී ගී ගණනාවක් ම රස විඳින්නට හැකියාව ලැබේ. 3 වන ගීතය ගැයෙන විනාඩි 5 තත්පර 20 මුඵ කාලයේ ම දක්නට ලැබෙනුයේ ගායකයාගේ රූපයකි. මුල් විනාඩි 3 තත්පර 50ක් ගත වන මුල් කාලයේ ගීතයේ ස්ථායී සහ අන්තරා කොටස් හතර ම ගයනුයේ ගායකයා ය. මේ අනුව සිතෙනුයේ මෙය ගායකයකු පමණක් ගයන ගීතයක් බව ය. එහෙත් අග විනාඩියේ දී කාන්තා කටහඩක් ද ගීතයට එකතු වේ. මේ නිසා අපූරු ලක්ෂණ සහිත ගීතයේ වගතුග සොයන්නට තවතවත් අන්තර්ජාලයෙන් කරුණු සොයන විට, මේ ගීතය ම විවිධ ගායකයන් විසින් ගයනු ලබන විවිධ අවස්ථා හමු වෙයි. ඒවා ඔස්සේ විස්ලින් කීර්තිගේ නිර්මාණයෙන් ශ්‍රාවකයකුට මතු වූ පර්යාලෝක ධාරාව කෙසේ වෙනස් වන්නේ දැයි තවදුරටත් විමසා බලමු.
            සතරවනුවට ඇති ගීතය ගැයෙන විට රූප රාමුවක් ලෙස තිබෙනුයේ ගායක ගායිකා දෙපළගේ නම් (සික් ජාතිකයකු ලෙස සැරසී සිටින ගායකයකු සහ හින්දි ගායිකාවක) සමඟ ඔවුන්ගේ ඡායාරූප දෙකක් පමණි. පැරණි චිත්‍රපට ගීයක් බවට වැකියක් ද ලියැවී තිබේ. දෙවන ගීතය මෙන් ම මෙහි දී විනාඩි 4 තත්පර 50 වන ගීතයේ, මුල් විනාඩි 3 තත්පර 50 කාලයේ ම ගීතය ගයනුයේ ගායකයා ය. මේ අනුව ද සිතෙනුයේ ගායිකා රූපයක් තිබුණ ද මෙය ගායකයකු පමණක් ගයන ගීයක් බවත් සිංහල ගීතයේ අදහස අනුව 'සුදු මැණිකේ' නිරූපණයට කාන්තා රුවක් භාවිත කර ඇති බවත් ය. ස්ථායී සහ අන්තරා කොටස් හතරක් ම ගායකයා ම ගායනා කරන නිසා ගායිකාවකගේ රූපයක් තිබෙන්නේ ඇයි දැයි යන ගැටලුව ද ගීතය පළමු ව ශ්‍රවණය කරන විට මට දැනිණි. ගීතයේ අගභාගයේ දී ගායිකාව ගීතයේ අන්තරා කොටසක් සහ ස්ථායි කොටසක් ගායනය කරනු අසන්නට ලැබේ. මේ අනුව කොටස් හයකින් සමන්විත ගීතයේ ආකෘතිමය වශයෙන් වෙනසක් ද තිබෙන බව පැහැදිලි වේ. එකී වෙනස පදනම් කර ගෙන අපූරු ගීත නිර්මාණයක් සමාජයට ලැබී ඇති බව ද නිශ්චිත ය. ස්ථායි-අන්තරා කොටස් අතර ඇති වාදන ඛණ්ඩ තුන එකිනෙකට වෙනස් වීම ද හින්දි ගීතයේ විශේෂ ලක්ෂණයකි. සංගීත රචනාවේ මෙන් ම ගායක ගායිකා දෙපළගේ කටහඬෙහි සංවර ස්වරය ද රිද්මය ද සිත් ගන්නාසුලු ය. කීර්ති ගේ නිර්මාණයේ පසුබිම් සංගීතයට පදනම් වූ ජෝතිපාල ගැයූ ගීතයේ සංගීතයේ කිසියම් ආකාරයක දැඩි ගතියක් ඇතත් මේ හින්දි ගීතයේ පසුබිම් සංගීතයේ ඇත්තේ සංවර රිද්මයකි. Whistling කීර්ති කළ නිර්මාණයේ පදනම ජෝතිපාලගේ ගීතය නිසා, කාන්තා කටහඬ, විස්ල් නඳින් නිරූපණය වූයේ කෙසේ දැයි සොයා බලන්නට නො හැකි ය. මින් පසු යුගල ගීත ස්වකීය නිර්මාණවලට පදනම් කර ගන්නා විට, ගායක-ගායිකා ශෛලියේ වෙනස ඉස්මතු කරන්නට ස්වකීය අවධානය කීර්ති විසින් යොමු කරනු ඇතැයි සිතමි.
            දැන් අප එම හින්දි ගීතය ම සජීවී ව ගායනා කරන ගායක ගායිකා යුවළක් (Rana Chatterjee and Sangeeta Melekar) දෙස බලමින් පස් වන හින්දි ගීතය රස විඳිමු. මෙතෙක් අප සජීවී ව ගීතය ගායනා කරන ආකාරය දැක තිබුණේ නැත. ඒ අනුව මේ ගීතය සජීවී ව ගයන අයුරු නිරීක්ෂණයෙන් අපට අලුතෙන් ලබා ගන්නට පුළුවන් අදහස් සහ පර්යාලෝක මොනවා ද? සරල ව කිව හොත් ඇස්වලින් තොර ව කන්වලින් පමණක් රස විඳි ගීතය, දැන් අපි ඇස්වලිනුත් රස විදින්නට සූදානම් වෙමු. ඒ අනුව අපේ පංච ඉන්ද්‍රියන්ගෙන්, දෙකක් ක්‍රියාකාරී වෙයි. ගායකයා වැඩි කලක් ගීතය ගයන අතරතුර, ගායිකාවගේ ශාරීරික ඉරියව් ගීතයේ රිද්මය අනුව ඉබේ ම මෙන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන්න. ඇය ගායකයාගේ ගී ගැයුම රිද්මයානුකූල ව රස විඳින ආකාරයත් ඒ අනුව ගායනා නො කරන අවස්ථාවල ඇය මුහුණ හා හස්තය චලනය කරන ආකාරයත් ඒ රටාවල ඇති නිර්මාණාත්මක බවත් සලකා බලන්න. එසේ ම ගායකයා ගයන විට පළ කරන ඉරියව්වල උචිතානුචිත බව ද තීරණය කරන්න. වාදක මණ්ඩලයේ සාමාජිකයනගේ රිද්මය ගැන ඇති වන අදහස් ද ගැන සිතන්න. මේ කරුණු අනුව ගීතයක් රස විඳීමට අදාළ ව, දැන් ඔබ සතු ව වෙනස් වූ පර්යාලෝක සහ විවිධ වූ පර්යාලෝක ගොඩ නැඟී ඇත්දැයි තීරණය කරන්න. ඒ අනුව ඔබගේ සිතිවිලි සහ ඔබේ පර්යාලෝකය වෙනස් වී ඇති ආකාරය ද තක්සේරු කරන්න. දැන් ඔබට මුලින් ම ඇසුණු ගීත හතරට වඩා, වෙනත් පර්යාලෝක සමූහයක් ලැබී ඇතැයි සිතෙන්නේ ද?
             ගායකයා ගීතයේ කොටස ගැයූ පසු, ගායිකාව ගයන්නට පෙර, ගීතයේ සංගීත නිර්මාපක වන ඕ. පී. නයියාර් ගේ රූපයක් දර්ශනය වේ. දැන් අපට සංගීතඥයා ගැනත් ඔහුගේ නිර්මාණ නවතාව ගැනත් සිතන්නට මගක් පෑදී ඇත. මට නොතේරෙන හින්දි භාෂාව නිසා, ගීතයේ පදමාලාවෙන් දෙන අදහස් උකහා ගත නො හැකි නිසා, පදමාලාව සම්බන්ධයෙන් මගේ පර්යාලෝකය, තවමත් ජෝතිපාලගේ ගීතයේ අර්ථයට සීමා ව ඇත. හින්දි බස දන්නා අයකුට නම් තවත් නවතම වූ පර්යාලෝක ඇති වනු නිසැක ය.
              අවසන් වශයෙන් මේ ගීතය ඇතුළත් චිත්‍රපටයේ දර්ශනය නරඹමු. එවිට මහේන්ද්‍ර කපූර් සහ ආශා බෝස්ලේ ගායනය කළ ගීතය, තමන් ගයන බව නිරූපණය කරමින් රඟපාන නළුවකු සහ නිළියක අපට දකින්නට ලැබේ. එසේ ම මේ නළු නිළි යුවළගේ විවිධ ඇදුම් පැළදුම්, ඔවුන් රඟපාන විවිධ දර්ශන තල අනුව වෙනස් වන බව ද දක්නට ලැබේ. පැරණි චිත්‍රපටවල සිප ගැනීම් නොපෙන්වූ අතර මල් දෙකක් සමීප වන අයුරු හෝ මලකට සමනලයකු වසන අයුරු මගින් සිප ගැනීම නිරූපණය කළේ ය. ඒ බව ද නිරීක්ෂණය කරන්න. නඵනිළි යුවලගේ මුහුණුවල 'මේක්අප් රටා' හොදහැටි පෙනෙයි. නිළියගේ ගමනේ සිත් ගන්නාසුලු රිද්මයක් ද වේ. ගීතයෙන් පළ වෙන හැඟීම් උපරිම ව පළ කරන්නට නළු නිළි යුවල සමත් වන්නේ ද යන්න පිළිබඳ ව විවේචනාත්මක ව බලන්නට ද ඔබට හැකියාව ලැබේවි. ඊට අමතර ව විවිධ පරිසර නිරූපණය වන උයන් වතු, හිමෙන් වැසුණු ප්‍රදේශ, ගංගාවල-ඔරුවල ඉදි වූ නිවාසවල වෙසෙන ජනයා ආදී ලෙස නිරූපණය වීමෙන් මතු වන අදහස් මොනවා ද?


මේ ගීතය සහිත උයන නරඹන විට, 1994 ඉන්දියාවේ රාජස්තානයේ උදයපූර් නගරයට ගිය විට නැරඹූ, රජ කුමරියන් සඳහා පැරණි කල ඉදි වූ උයන මගේ මතකයට නැගිණි. මේ උයන චිත්‍රපට දර්ශනවලට නිරතුරු ව ගන්නා බව අපේ මාර්ගෝපදේශක ලෙස කටයුතු කළ, අධ්‍යාපන නිලධාරි මහතා පැවසුවේ ය. අවට කඳුවල කිසිදු ගහකොළක් නො වූ අතර වැව ළඟ මේ උයන නම් අපූරු සුන්දරත්වයක් පළ කළේ ය. මේ උයන ගැන විස්තර ඉන්දියාව ගැන මා ලියූ පොතේ ඇතුළත් ය.
             මේ ගීතය නරඹන අවස්ථාව වන විට ඔබට ජෝතිපාල ගැයූ ගීතය අමතක ව තිබෙන්නටත් පුළුවන්. මෙයින් එක අතකින් පැහැදිලි වන්නේ ද්විතීයක මූලාශ්‍රයට වඩා ප්‍රාථමික මූලාශ්‍රය මිනිස්සුන්ගේ සිත්වල මැනවින් පැලපදියම් වන බවයි. එහෙත් ප්‍රාථමික මූලාශ්‍රය වෙත යාමට පර්යේෂණවල දී ද්විතීයක මූලාශ්‍ර උදව් කර ගත හැකි බව ද ඔබට පැහැදිලි වන්නට ඇත.