Monday 6 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (11) පර්යේෂණ ක්‍රම (Methods) සහ පර්යේෂණ පිරිසැලසුම් (Designs)

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (11) පර්යේෂණ ක්‍රම (Methods) සහ පර්යේෂණ පිරිසැලසුම් (Designs)
සාරිය ඇදුමකි. එය ඇදීමේ දී කාන්තාවෝ විවිධ වර්ණ ද විවිධ මෝස්තර ද භාවිත කරති. එක් එක් කාන්තාව, සාරි පොට එක් රැල්ල, දෙරැල්ල, තෙරැල්ල ලෙස සකස් කරන ආකාරය ද විවිධ ය. සමහරු සාරි පොට දකුණු උරහිසට දමති. තවත් සමහරු වම් උරහිසට දමති. සමහරු ඔසරි පොට කර වටා ඔතා ගනිති. ඉන්දියාවේ නම් සමහර කාන්තාවෝ හිස ද වසා ගනිති. සාරිය සමග අදින හැට්ටය ද විවිධ ය. හැට්ටයේ වර්ණය-මෝස්තර මෙන් ම හැට්ට අතේ-කරේ ප්‍රමාණය ද කාන්තාවගේ රුචිය අනුව වෙනස් ය. මේ අනුව සාරිය නැමැති ඇදුම් ඇදීමේ ක්‍රමය, විවිධ මෝස්තර හෙවත් සැලසුම් (පිරිසැලසුම්) පදනම් කර ගෙන භාවිතයට ගත හැකි ය.
පර්යේෂණ ක්‍රමය සහ පිරිසැලසුම අතර වෙනස ද මීට සමාන ය. එක් පර්යේෂණ ක්‍රමයක්, විවිධ පිරිසැලසුම්වලට අනුව වෙනස් කර ගෙන-පර්යේෂණ සැලැස්ම සකස් කර ගෙන, විවිධ ලක්ෂණ සහිත ව භාවිත කළ හැකි ය. මුඵ ලංකාවේ ම 5 වන ශ්‍රෙණියේ ශිෂ්‍යයන් නියැදිය ලෙස ගෙන සමීක්ෂණයක් කළ හොත් එහි දී පර්යේෂක භාවිත කරන පිරිසැලසුම, 5 වන ශ්‍රෙණියේ ශිෂ්‍යයන් 100ක් රැගෙන කරන සමීක්ෂණයක පිරිසැලසුමට වඩා වෙනස් ය. මුහුණු පොත දේශපාලන පක්ෂ ප්‍රචාරය සදහා භාවිත කරන අයගේ ආකල්ප කෙබදු දැයි හදුනා ගැනීමට කරන ආකල්ප සමීක්ෂණයක (Attitude survey) පිරිසැලැස්ම, මුහුණු පොත පවුලේ හෝ තමා සේවය කරන පාසල හෝ ආයතනයට අදාළ කාර්ය ප්‍රචලිත කිරීමට භාවිත කරන අයගේ ආකල්ප ගැන කරන සමීක්ෂණයකට වඩා වෙනස් වූ පිරිසැලැස්මක් සහිත විය යුතු ය. මේ අනුව සමීක්ෂණ පර්යේෂණ ක්‍රමය එක වුවත්, සමීක්ෂණ පර්යේෂණයක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට භාවිත කරන පිරිසැලසුම් විවිධ විය හැකි ය.
අනෙකුත් පර්යේෂණ ක්‍රම හා පිරිසැලසුම් ද තේරුම් ගත යුත්තේ මෙසේ ම ය. උදාහරණයක් ලෙස මහාචාර්ය නන්දසේන රතනපාල යාචකයන් ගැන හා ගණිකාවන් ගැන මානව වංශ විවරණ පර්යේෂණ ක්‍රමය භාවිතයෙන් කළ පර්යේෂණ දෙකේ පිරිසැලසුම් එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත ය. ඒ හා සම්බන්ධ ව ඔහු ලියූ පොත් දෙක ද කියවා බලන්න. තවත් උදාහරණයක් අනුව විද්‍යාත්මක ක්‍රමයට අනුගත සම්පරීක්ෂණ පර්යේෂණයක් කිරීමේ දී, භාවිතයට ගත හැකි නිර්දේශිත පිරිසැලසුම් 16ක් පවතින අතර, එයින් ඔබේ පර්යේෂණ ගැටලුවට උචිත වන එක පිරිසැලසුමක් අනුව සම්පරීක්ෂණ පර්යේෂණයක් කළ හැකි ය.
ගීත ඇසුරින් ද මේ සංකල්පය තේරුම් ගනිමු. මිතුන් (Mithoon) සංගීතය සැපයූ ආර්ජිත් සින් (Arijit Singh) ගැයූ Tum Hi Ho (English meaning: "You are the one") යන Filmfare සම්මාන ලද ගීය Aashiqui යන චිත්‍රපටයේ වැයෙන විට දර්ශනය වන රූප රාමු පළමු ව නරඹන්න. දෙවනු ව එම ගීය ම Veer-Zaara චිත්‍රපටයේ දී ෂාරුක් ඛාන් සහ ප්‍රීති සින්තා රගපාන දර්ශනයේ දී එසේ ම භාවිත වුණත්, දර්ශන සමූහය හාත්පසින් වෙනස් ය (U tubeවල මේ link එකට යන්න. (https://www.youtube.com/watch…). ඉන්දුනීසියානු විවාහ මංගල්‍යයකට සම්බන්ධ ව වාදනය කිරීමේ දී ගීයේ මූලික ව්‍යූහය වෙනස් නො කර ගීතයේ ස්වර රටාත් ගායන රිද්මත් පසුබිම් පරිසරයත් නඵ නිළි හැසිරීමත් වෙනස් ව භාවිත වන අයුරු නිරීක්ෂණය කරන්න. අවසන් ලෙස ඇමරිකානු පරිසරයේ දී, එහි සංස්කෘතියට අනුගත ව, පියානෝව සහ බටනළාව භාවිතයෙන් ද බටහිර ඔපෙරා ශෛලියේ රංගනයකින් ද ගීතයට අදාළ පසුබිම විකරණය (Modify) කර ඇති සැටි බලන්න. එහි දී පදමාලාවෙන් තොර ව සංගීතය පමණක් භාවිත කර ඇති අයුරු ද අධ්‍යයනය කරන්න. මෙයින් පැහැදිලි වන්නේ ගීතයේ පදනම එක වුවත් එහි භාවිතය, ඒ ඒ රට ද රටෙහි සංස්කෘතිය ද ගීතය භාවිත කරන සන්දර්භය (Context) ද අනුව වෙනස් වන බව ය.
ඕනෑ ම පර්යේෂණ ක්‍රමයක් භාවිතයේ දී ද, සන්දර්භයේ විවිධත්වය පදනම් කර ගනිමින් පර්යේෂණය සැලසුම් කරන විට, විවිධ පිරිසැලසුම් ජනනය වන්නේ ද මෙයාකාරයෙනි.




No comments:

Post a Comment