Monday 6 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (10) සිංහල ගීතයක් නිරීක්ෂණය කරමු

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (10) සිංහල ගීතයක් නිරීක්ෂණය කරමු
1. අධ්‍යාපන පර්යේෂණ වැඩමුඵවල දී, පර්යේෂණ පිළිබද සංකල්ප පැහැදිලි කිරීම සදහා “සැමියා බිරිදගේ දෙවියාය" චිත්‍රපටයේ, රුක්මනී දේවි ගයන “කියන්න රන් කද-මොන හිතකින් ඔබ - කීවා දැයි මට මේවා" යන ගීතය ද මවිසින් භාවිත කරනු ලැබේ. ඒ අනුව පළමු ව සහභාගි වන්නන්ට ගීතයේ පළමු විනාඩිය නරඹන්නට අවස්ථාව දෙනු ලැබේ. ඔබ ද දැන් ගීතයේ පළමු විනාඩිය නරඹන්න.
2. නැරඹීමෙන් පසු මා සහභාගි වන්නන්ගෙන් අසනුයේ ඔබ නිරීක්ෂණය කළ දේ පවසන ලෙසයි. ඔබට ද දැන් ඒ අවස්ථාව දෙමි. විනාඩියක් ගත කර ඔබ නිරීක්ෂණය කළ දේ ලියන්න.
3. ලියන්නට කී දේ අනුව, වැඩමුඵවල දී මා සුලභ ව ලද ප්‍රතිචාර මෙසේ ය.
• රුක්මනි දේවි දුකින් කියන සින්දුවක්
• නඵවගෙයි නිළියගෙයි ප්‍රශ්නයක් නිසා නිළිය දුක් ගීයක් කියනවා
• රුක්මනි දේවි ගායිකාවක් වගේ ම හොද නිළියක් නිසා හොදට රගපානවා
• “කියන්න රන් කද කියන්න" යන අදහසින් කාන්තාවගේ ආදරයේ ගැඹුර පේනවා
• කඵ-සුදු චිත්‍රපටියක්
• සර් සින්දුව හරි ම ලස්සනයි. මුඵ සින්දුව ම අහමු ද?
4. සම්පූර්ණ ගීතය ඇසීමට පෙර තව ක්‍රියාකාරකමක් කරමු යයි යෝජනා කරන මා "ඔයගොල්ලන් ලියා ඇති කරුණු මා ඔබට ලියන්නට කී පරිදි, ඔබේ නිරීක්ෂණ ද? නැති නම් නිරීක්ෂණ නො වන ඔබේ හැගීම් ද? ආකල්ප ද? මත ද? නිගමන ද? මේක තීරණය කරන්නට ඔබ ලියා ඇති කරුණු ඒ දෙවර්ගයට වර්ග කරමු ද?" ලෙස යෝජනා කරමි. තමතමන් ලියූ දේ ගැන නැවත සිතන හෙවත් පශ්චාද් ප්‍රත්‍යවේක්ෂණයේ (Reflection on action) නියැළෙන සහභාගිකයෝ තමන් ලියූ දේ මෙසේ වර්ග කර ගනිති.
නිරීක්ෂණ: රුක්මනි දේවි-සින්දුවක්-නඵවා-නිළිය-ගීයක් කියනවා- ගායිකාවක්- කියන්න රන් කද-කඵසුදු චිත්‍රපටියක්
හැගීම්/ආකල්ප/මත/නිගමන: දුකින් කියන සින්දුවක්- නඵවගෙයි නිළියගෙයි ප්‍රශ්නයක් නිසා නිළිය දුක් ගීයක් කියනවා- හොද නිළියක්- හොදට රගපානවා- ආදරයේ ගැඹුර පේනවා- හරි ම ලස්සනයි
5. මේ වර්ගීකරණයේ යෙදෙන විට සහභාගි වන්නන් මතු කරන ගැටලුවක් වනුයේ, කනට ඇසුණු සින්දුවක් සහ එහි තිබූ "කියන්න රන් කද" යන කනට ඇසුණු වචන තුන නිරීක්ෂණ ද යනු ය. ගීත කනින් අහනවා මිස ඇසින් නිරීක්ෂණය කරන්නේ කෙසේ ද? මේ අනුව “රුක්මනී දේවි ගැයූ ගීතයේ වචන නිරීක්ෂණය කළේ කවුරුන් ද?" යන ප්‍රශ්නය නිවැරදි ද? යන ප්‍රශ්නය ද පැන නැගේ.
මෙහි දී මා පැහැදිලි කරනුයේ, නිරීක්ෂණය යනු ඇසින් පමණක් නො ව පසිදුරන් (ඇස්-කන්-නාසා-මුඛය-සිරුර) මගින් ම කළ යුතු කාර්යයක් බවයි. ඇසින් බලන දේ මෙන් ම කනින් අහන දේත් නිරීක්ෂණයකි. නැහැයෙන් සුවද බැලීමත් නිරීක්ෂණයකි. දිවෙන් රස බැලීමත් නිරීක්ෂණයකි. රුක්මනී දේවී සින්දුව කියන ගමන් අත්තක් අල්ලා ගන්නා අවස්ථාවක් ගීතයේ වේ. එවිට ඇයට අත්තේ කොළවල ශීතලක් දැනේ නම් එය ඇගේ ගතට දැනුණු නිරීක්ෂණයකි.
“මට ද කියන්නේ වෙන කෙනෙකුන්ගේ තුරුළේ ඉන්නට කියලා" ලෙස රුක්මනී දේවි ගයන විට (මෙය සහභාගි වන්නා කනින් කළ නිරීක්ෂණයකි) කටු පදුරක් ඇය ඉදිරියෙන් වේ (ඇසින් කළ නිරීක්ෂණයකි). එයින් ගම්‍යමාන වනුයේ වෙන කෙනකු හා සිටීම, කටු පදුරක් හා සමග සිටීමට සමාන ලෙස ය (මෙය නරඹන්නාගේ හැගීමකි-මතයකි-නිගමනයකි). මෙය චිත්‍රපට අධ්‍යක්ෂ හිතාමතා සැලසුම් කළ පසුතලයක් ද විය හැකි ය (අනුමානයකි). එය අපි නො දනිමු. ඒ ගැන දැන ගන්නට චිත්‍රපට අධ්‍යක්ෂ සමග සම්මුඛ සාකච්ඡා කළ යුතු ව තිබේ. අපේ ඇග කටු පදුරක ගැටුණු විට, තුවාල වීමෙන් වන වේදනාවත්, කයට දැනෙන නිරීක්ෂණයකි.
නිරික්ෂණය පිළිබද මේ අදහස් අනුව, රුක්මනී දේවි ගැයූ ගීතයේ පද නිරීක්ෂණය කළේ කවුරුන් ද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසීමේ වරදක් නැත.
මේ පෝස්ටුව බලන ගමන් ඔබ තේ එකක් රස විදිනවා නම්, පර්යේෂණ මූලධර්ම අනුව, ඔබ කරනුයේ තේ කෝප්පයේ රස, කට නැමැති අවයවයෙන් නිරීක්ෂණය කිරීමකි. “මොක ද අද තේ එකේ කහට වැඩි. නෝනට තරහ ගිහිල්ලා ද දන්නෑ, මෙච්චර ගෙදර වැඩ තියෙද්දී මම මුහුණු පොත බල බලා ඉන්නවා කියලා. ඒ නිසා කහට වැඩියෙන් දාලා තේ හැදුව ද දන්නෑ" (මෙය මගේ හැගීමකි).
6. වර්ගීකරණයට අදාළ කරුණු දෙවර්ගය (නිරීක්ෂණ සහ නිරීක්ෂණ නො වන හැගීම් ආදිය) අනුව මා පෙන්වා දෙන්නේ, ඔබ සැම නිරීක්ෂණය කරන විට වැඩිපුර කරනුයේ නිරීක්ෂණයට වඩා ඔබේ ම හැගීම්-ආකල්ප -මත-නිගමන ඉදිරිපත් කිරීම බවයි. පර්යේෂණකරණයේ දී අවශ්‍ය වනුයේ අපේ මත-හැගීම්-ආකල්ප-නිගමනවලට වඩා, අප බලන දේ වාස්තවික (Objective) ව පසිදුරන් මගින් නිරීක්ෂණයයි.
7. මෙයාකාරයේ හැගීම්-ආකල්ප -මත-නිගමන හා බැදි උත්තර වැඩිපුර අපෙන් ලැබෙනුයේ, බැලීම (Look) යන සංකල්පය පදනම් කර ගෙන ය. නිරීක්ෂණය (Observation) පදනම් කර ගෙන නො වේ. අප ටෙලි නාට්‍යයක් නැති නම් මුහුණු පොතේ සමහර විවාදාපන්න ප්‍රශ්න (Issues) ගැන පෝස්ටු (Post) ඔහේ බලා-ගැඹුරින් නො බලා" අපේ අදහස් පළ කරනුයේ “බැලීම" පදනම් කර ගෙන ය. නිරීක්ෂණ පදනම් කර ගෙන නො වේ. මේ අනුව, බැලීම සහ නිරීක්ෂණය අතර ද වෙනසක් වේ.
8. නිරීක්ෂණයට අදාළ ව මම මීළගට මේ ප්‍රශ්නය අසමි.
(අ) නිළිය, නඵවා කෙරෙන් ඈත් ව අනෙක් පසට යන විට, සාරි පොටට වෙන්නේ කුමක් ද? එය කී දෙනකු නිරීක්ෂණය කළා ද?
(ආ) ප්‍රශ්නයට ඔබ දෙන පිළිතුර කුමක් ද? මගේ වැඩමුඵ සහභාගිකයන්ගේ පිළිතුර ම වනු ඇත. “එහෙම දෙයක් වුණා ද? නැවත නරඹා උත්තරය දෙන්නම්." එහෙයින් ගීතයේ පළමු විනාඩිය නැවතත් නරඹන්න.
නැවත නරඹන විට පැහැදිලි වනුයේ සාරි පොට පදුරක ඇමිණෙන බව ය. ඇමිණී එය ගැළවෙන විට විහිදී යන්නේ ය. සැමියා කෙරෙන් අනික් පැත්තට යන කාන්තාවගේ සාරිය මෙසේ ඇමිණිම නැමැති නිරීක්ෂණයෙන් ඇගවෙන්නේ, ඇය සැමියාගෙන් අනෙක් පසට ගියත් ඔහු කෙරෙහි ම සිතින් බැදී සිටින බව විය හැකි ය. සාරි පොට විහිදීමෙන් නිරූපණය කරනුයේ ඇයගේ පැතුරුණු ආදරය වන්නට පුඵවන. මෙය අගවන්නට. චිත්‍රපට අධ්‍යක්ෂ, හිතාමතා ම මේ ලෙස සාරි පොට පදුරක ඇමිණෙන පරිදි දර්ශනය රූ ගත කරන්නටත් ඇත (මේ කොටසේ අදහස් නිරීක්ෂණ නො ව, හුදෙක් අපේ හැගීම් සහ මත බව දැන් ඔබට කීම අනවශ්‍යයි). ඒවා සත්‍ය දැයි බැලීමට නිර්මාණකරුවන් හා සම්මුඛ සාකච්ඡා කළ යුතු ය.
රුක්මනි දේවියගේ සාරි පොට පිළිබද සිද්ධිය, ගීතයට සහ චිත්‍රපටයේ දර්ශනයට ගැඹුරක් එකතු කරනවා ද? යනුවෙන් ප්‍රශ්නයක් ඇසූ විට එම හැගීමට/මතයට/නිගමනයට නම් අපට එකග විය හැකි ය.
9. මා දැන් විවෘත ප්‍රශ්න ඉදිරිපත් කොට ඔබට ම ස්වාධීන ව නිරීක්ෂණය කරන්නට-ප්‍රත්‍යවේක්ෂණය කරන්නට ඉඩ දෙමි.
(අ) ඔබ නිරීක්ෂණය කළ නාද බිහි කළ සංගීත භාණඩ මොනවා ද?
(ආ) තාල භාණඩය සහිත ව සහ තාල භාණඩය රහිත ව ගායනය කරන ගීතයේ කොටස් දෙක අතර ඇති වෙනස්කම් මොනවා ද?
ඇ) ගස්වලත් ඇන්තූරියම් පැලවලත් අතු-කොළ චලනය වන රිද්මය ඔබ නිරීක්ෂණය කළෙහි ද?
(ඈ) රුක්මනී “ඇයි මගෙ රන්කද" යයි කියන විට අත්තක් අල්ලා ගන්නේ ඇයි?
(ඉ) රුක්මනී, ගීය ගයන විට මුහුණ විවිධ ලෙස හසුරුවන්නේ කෙසේ ද?
(ඊ) ඩොමී ජයවර්ධන නඵවා සහ ඔහුගේ ඇදුම් ගැන ඔබේ නිරීක්ෂණ මොනවා ද?
(උ) රූපගත කළ කැමරාව චලනය වූයේ කුමන රටාවට ද?
10. විනාඩි 150ක් වැනි කාලයක් ධාවනය වන චිත්‍රපටයක, විනාඩියක් වැනි කෙටි කාලයක් ගැන, නිරීක්ෂණය පාදක කර ගෙන මෙතරම් කතා කළ හැකි නම්, පර්යේෂණකරණයේ දී අප කෙතරම් ගැඹුරට නිරීක්ෂණය කළ යුතු දැයි ඔබට අවබෝධ වන්නට ඇත. දැන් මුඵ ගීතයේ ම රසය, නිරීක්ෂණය පාදක ව, ලබන්න.


No comments:

Post a Comment