Monday 6 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (6) රුබාහ්වල ප්‍රභාව සහ පර්යේෂණ ගැනත් අදහස් ටිකක්

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (6) රුබාහ්වල ප්‍රභාව සහ පර්යේෂණ ගැනත් අදහස් ටිකක්


1-2 වන රූප: ක්‍රියාමූලික පර්යේෂණ (Action research) පිළිබද දේශනවල දී කුර්ත් ලෙවින් (Kurt Lewin) ඉදිරිපත් කළ දෙරටුපාල න්‍යාය (Gate keeping theory) පැහැදිලි කිරීමේ දී මා ඉදිරිපත් කරන උදාහරණයක් නම් එළවඵ මිල දී ගැනිමට වෙළෙද පොළකට යන සිද්ධියකි. මා ඇඹුල් රසැති -රුබාහ් Rhubarb- යන එළවඵ ව කන්නට කැමති නිසා ඒ මිලට ගන්නට මාර්කට් එකේ වෙළෙදුන්ගෙන් අසන විට ඔවුන් පවසන්නේ එය මේ දිනවල කඩවල නැති බවයි. මෙය මගේ ආහාර පුරුද්ද හා රුචිය ඉටු කර ගැනීමට බලපාන බාධාවකි.- ගේට්ටුවකි. ක්‍රියාමූලික පර්යේෂණවල දී ගැටලු හදුනා ගැනීම යනු මෙයාකාරයෙන් අපේ වෘත්තිය ඉටු කරන විට-සමාජ ජීවිතය ගත කරන විට ඇති වන බාධා- පවතින ගේට්ටු හදුනා ගැනීමයි. ඒ බාධා- පවතින ගේට්ටු ගැන ප්‍රත්‍යවේක්ෂණය කර, කරුණු සොයා බලා, ඒවාට විසදුම් අත්හදා බලමින් ඉදිරියට යාම ක්‍රියාමූලික පර්යේෂණ ක්‍රියාවලියට අයත් වේ. මේ පැහැදිලි කිරීමේ දී වැඩමුඵවලට සහභාගි වන්නන් බොහෝ දෙනකුගෙන් නැගෙන ප්‍රශ්නයක් වනුයේ -රුබාහ්- යනු මොනවා ද? යනුයි. මේ අනුව පැහැදිලි වූයේ රුබාහ් නම් එළවඵ ව ගැන නොදන්නා බොහෝ අය ගුරුවරුන් හා අධ්‍යාපනයට සම්බන්ධ අය අතර සිටින බවයි.

3-4-5 වන රූප: කැනඩාවේ සිටින මට මේ පර්යේෂණ වැඩමුඵ සිද්ධිය මතක් වූයේ බුද්ධිණී රුහුණුහේවා මහත්මියගේ නිවසට ඇගේ ආරාධනයෙන් ගිය විට දී ය. ඇගේ නිවසේ මහල් තුනකි. දෙ වන මහල බිම් මට්ටමේ පිහිටියේ ය. මේ තට්ටු තුන සහිත නිවස, කැනඩාවේ නිවාසවල ශෛලියකි. සමහර නිවෙස්වල තට්ටු දෙකකි. අනෙක් ශෛලියක් වනුයේ තට්ටු 20ක් පමණ තිබෙන මහල් නිවාස සංකීර්ණ ය. තට්ටු දෙක තුනක් සහිත, එහෙත් ඉඩම් සහ වාහන තබා ගැනීමේ පහසුව රහිත, නිවාස කට්ටල ද වේ. සැම නිවෙසක ම එළියට පෙනෙන බිත්තිවල සමාන ශෛලි වේ. වර්ණවල වෙනසක් පවතී. විවිධ මෝස්තරවල අඩුවක් දක්නට ලැබේ. කැනඩාවේ මේ නිවාස ශෛලි ගැන වැඩි අවබෝධයක් ලබන්නට නම් සමීක්ෂණ පර්යේෂණයක් (Survey research) කළ යුතු ය.

6-23 වන රූප: නිවසේ බිම් මහළට පිටුපස කුඩා ඉඩමේ මැද තණ කොළ ය. ඉඩම වටා බැද ඇති ලී වැට අසල රුබා ද අනෙක් එළවඵ ද වවා ඇත්තේ ය. තක්කාලි, වට්ටක්කා, ගෝවා, බණඩක්කා, කරවිල, මිරිස්, බීට්රෑට්, මෑකරල්, මාඵමිරිස්, ලීක්ස්, කේල් මැල්ලුම්, තොත්තමල්ලි, මින්චි, පිපිඤඤා, කරපිංචා, මින්චි වගාව, දෙස බලන විට අප සිටිනුයේ ලංකාවේ බවට හැගීමක් එයි. සමහර ශ්‍රී ලංකිකයන් ද නො දන්නා රුබාහ් වන් එළවඵවක් කැනඩාවට පැමිණ සිටින පවුලක කුඩා නිවසේ වැවෙයි. අපූරුයි නො වේ ද? මේ වගා සංස්කෘතිය ශ්‍රී ලංකාවේ සිට ගෙන ආ අයුරුත් ඒ අනුව කැනඩාවේ දී වගාව පිළිවෙළින් සංවර්ධනය කළ අයුරුත් කතාන්තරයක් සේ ලිව්වොත් එය අගනා ක්‍රියාමූලික පර්යේෂණ වාර්තාවක් වනු ඇත. උදාහරණයක් ලෙස එම පර්යේෂණ වාර්තාවෙහි පිටු කීපයක මේ කරුණ ද විස්තර ව ලියැවෙනු ඇත.-- 'සිංහල පවුලට එළවඵ වගා කරන විට රුබාහ් පැළය ලබා දී තිබෙන්නේ මීට පෙර ඔවුන් විසූ නිවස අසල සිටි කැනේඩියානු ජාතිකයෙකි. මේ අනුව පැහැදිලි වනුයේ ආසියානු සම්භවයක් සහිත රුබාහ් පැලය කැනඩා ජාතිකයන් අතර ද ප්‍රචලිත ව ඇති බව ය. ඔවුන් ද එහි රස භුක්ති විදින බව ය.'--

24-25 වන රූප: එළවඵ වගාව අතර ඇති අමුතු පිළිම දෙකක් දකින විට අමුත්තක් දැනෙයි. කැනඩාවේ විශ්වාසයක් වනුයේ මේ වන් පිළිම හා බකමුහුණු රූප තිබෙන විට ඉඩමට ආරක්ෂාව ලැබෙන බව යයි බුද්ධිණීගේ සැමියා, ප්‍රදීප්, පවසන පවසන විට මේ ගැන කුතුහල මනසක් ඇති වේ. මේ නිවස මිලට ගන්නත් පෙර මේ පිළිම තිබී ඇත. බකමුහුණු රුවක් ඉඩමේ මුල්ලකට වන්නට ඇති බව පෙනෙන්නේ බකමූණකුගේ තවත් රුවක් ද තිබෙන බව කියන විට ය. එය පෙනෙන්ට නොපෙනෙන්ට තබා තිබෙන සැටි අගවන්නේ, එසේ තැබූ අය, බකමුණු චර්යාව මැනවින් අධ්‍යයනය කර ඇති බව ය. මේ විශ්වාස පද්ධතිය හා බැදුණු මිනිස් චින්තාව හදුනා ගන්නට නම් මානවවංශ විවරණ (Ethnography research) සහ සංසිද්ධි විද්‍යා පර්යේෂණ මිශ්‍ර කර පර්යේෂණයක් කරන්නට සිදු වනු ඇත. නූතන යයි අප සිතන කැනඩාවේ මෙවන් විශ්වාසයක් පැවතීමට, යුරෝපීයයන් මෙහි පැමිණිමට පෙර අවුරුදු දහස් ගණනක් ජීවත් වූ ස්වදේශිකයන් ගේ විශ්වාස පද්ධති බලපෑවා වන්නටත් පුඵවන. මේ සදහා පැහැදිලි අදහසක් ගන්නට ඉතිහාස හෝ පුරාවිද්‍යා ක්ෂේත්‍ර පාදක පර්යේෂණයක් (Research based on the disciplines of History or Archaeology) කළ හැකි ය.

26-29 වන රූප: මෙවන් සිතිවිලි ධාරා අතර සිර වන විට ගුවන් යානා ගමන් කරන හඩ නිරතුරු ව අසන්නට ලැබේ. ටොරොන්ටෝ ගුවන් තොටුපළ අසල නිසා ළගින් පියාසර කරන ගුවන් යානා මේ ශ්‍රී ලාංකික පවුල, සමග අප ද ලෝකය හා බැදී ඇති බව සිහි ගන්වයි.

30 වන රූපය: ලෝක බැදීම හා බලපෑම පෙන්වමින් නිවසේ එක් පසක නිවසේ නයිජීරියානු හා චීන ජාතික සැමියෙක්+බිරිදක් වාසය කරති. අනෙක් පස නිවසේ මෑතක් තෙක් පෘතුගීසි පවුලක් ජීවත් ව ඇත. වර්තමානයේ සිටිනුයේ මුරුසියෙන් ආ පවුලකි. අපූරු සහජීවනයක්. මුරුසි පවුල මීට පෙර මහල් නිවසක සිටි නිසා, අලුතින් ආ තනි නිවසේ අවට පරිසරය හා වාසය කරන සංස්කෘතිය ගැන නො දැනීම නිසා දෝ, එකී පවුල වෙසෙන පෙදෙසේ වැල් වර්ග වැවී බැම්ම උඩින් ශ්‍රී ලාංකික නිවස දෙසට පැමිණ ඇත. සාමාන්‍ය කැනඩා පවුල්වල සිරිත අන් නිවෙස්වලට මෙවන් කරදරයක් හෝ නො වන්නට ජීවත් වීම ය. මගේ දියණිය පදිංචි ව සිටින මහල් 20ක් සහිත නිවාස ජාලයේ ලක්ෂණයක් වන්නේ ද අන් අය දෙස නොබලා කොරිඩෝවේ හෝ පාරේ ගමන් කිරීම ය. පාරේ ගමන් කරන විට ද අන් අය කවුරුන්දැ යි සෙවීමේ (ඒ සෙවීම ඕපාදූප සෙවීම දක්වා ගමන් කරන බව අපි දනිමු) ශ්‍රී ලාංකික ලක්ෂණය මෙහි දක්නට නැත. කලාතුරකින් Good morning යනුවෙන් පැවසේ. සමහර නිවෙස් ඉදිරියෙන් යන විට සමහරවිට Today is a good day, Have a nice day හෝ Today is a sunny day; have a nice walk ලෙස සිනා මුසු මුහුණින් පවසනු ලැබේ. සම්බන්ධතාව එතැනින් නිම ය.

කුඩා ඉඩම වටා ඇති ලෑලි වැටවල්, කැනඩාවේ තවත් ස්වරූපයක් සිහියට නංවයි. ඉඩම වටේ මෙසේ ලී වැට තිබුණත් ගේ ඉදිරිපස බැමි ඉදි කිරීම නීතියෙන් තහනම් ය. විවිධ හැඩයේ ලී වැට නම් නිවෙස් ඉදිරිපිට වේ. ඒවායේ සරල නමුත් අලංකාර බවක් දිස් වේ. ඔස්ට්‍රෙලියාවේ ද මෙයාකාර සරල වැටවල් වේ. එහි අගමැති නිවස වටා බැම්මක් බැදි පසු, එහි වැසියන් උපහාසයෙන් අදහස් පළ කළ බව කැන්බරාවේ සුරංගනී නංගී වරෙක මට කීවා ය. එක් එක් රට අනුව නීති වෙනස් වන සැටිත් රට තුළ ද නීති ඒක් එක් අවස්ථා-පුද්ගලයා අනුව නැවෙන අයුරුත් ගැන නීති ක්ෂේත්‍රය පාදක සමීක්ෂණයක් (Survey based on law) කළ හැකි ය. නීතිය බූරුවකු බවත් ඕන කෙකුට ඕන ලෙස පිටේ නැග ගමන් කළ හැකි බවත් මා අසා තිබේ. කැනඩාවේ ද කැන්බරාවේ ද සමානාත්මතාව නීතිය වසයෙන් පිළිගත්ත ද ක්‍රියාත්මක පාර්ශවයේ දී පක්ෂග්‍රාහී තීරණ ගැනෙන බව බුද්ධිණි හා සුරංගනී පවසති.
































No comments:

Post a Comment