Monday 6 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (12) ද්විතීයක මූලාශ්‍රයට එදිරි ව ප්‍රාථමික මූලාශ්‍රය



අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (12) ද්විතීයක මූලාශ්‍රයට එදිරි ව ප්‍රාථමික මූලාශ්‍රය
මුහුණු පොතේ හසින්තා සෙනෙවිරත්න ගුරුතුමිය, ඇල්බර්ට් අයින්ස්ටයින් කළා යැයි පැවසෙන සිංහල ප්‍රකාශයක් සහිත 1 වන රූපය එවා  එහි අර්ථය කුමක් දැයි විමසුවා ය. අයින්ස්ටයින් සිංහලෙන් අදහස් පළ නො කළ නිසා, ඔහුගේ අදහස් සිංහලෙන් ලියැවෙන විට විකෘති ව ලියැවී තිබෙන්නට ඇතැයි සැක කරමින් ඊට අදාළ ඉංග්‍රීසි ප්‍රකාශය සෙවීමි. එය 2 වන රූපයේ දැක්වේ. දැන් තාවකාලික ව මෙසේ සිතමු.  1 වන රූපය ද්විතීයක මූලාශ්‍රයකි.  2 වන රූපය ප්‍රාථමික මූලාශ්‍රයකි. මේ පුවරු දෙකේ කරුණු මම මෙසේ  අර්ථනිරූපණය කළෙමි. 
(අ) ඉංග්‍රීසි පුවරුවේ සදහන් (Experimentation) පදයේ තේරුම සම්පරීක්ෂණ (අත්හදා බැලීමේ) පර්යේෂණ ය. සිංහල පුවරුවේ සදහන් පරිදි පරීක්ෂණ (Test) හෝ විනය පරීක්ෂණ  (Inquiry) නො වේ. මේ අනුව ද්විතීයක මූලාශ්‍රයවල, ප්‍රාථමික මූලාශ්‍රයවලට වඩා වැරදි පරිවර්තන තිබෙන්නට හැකි නිසා, වැරදි අදහස් ද ජනනය වන්නට පුඵවන  (3 වන රූපයේ ද Researcher යන පදයේ සිංහල පදය ලෙස දක්වා ඇත්තේ පරීක්ෂකයෙක්  වසයෙනි. එය ද පර්යේෂකයෙක් විය යුතු ය. එහි සදහන් දැණුම යන පදය ද දැනුම ලෙස නිවැරදි විය යුතු ය.)
(ආ) පර්යේෂණවල විශේෂත්වයක් වනුයේ, පර්යේෂණයකින් හොයා ගන්නා නව දෙයක්, වෙනත් පර්යේෂකයකු විසින් කරනු ලබන අලුත් පර්යේෂණයකින් වඩාත් අලුත් දෙයක් සොයා  ගත් විට, පෙර පර්යේෂකගේ දැනුම පරණ දැනුමක්-යල් පැන ගිය දැනුමක් බවට පත් වීමයි.  අයින්ස්ටයින් සමස්තයක් ලෙස සදහන් කරන්නේ මේ කරුණයි. මා කොච්චර මහන්සි වී අලුත් දෙයක් හොයා ගත්තත් තව කෙනකු කෙටි කලකින්-කෙටි උත්සාහයකින් කරන පර්යේෂණයකින් මගේ සොයා ගැනීම වැරදි වී පරණ වන්නට පුඵවන.  අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබද නයායයට ප්‍රතිපක්ෂ අදහස් මේ වන විටත් පළ ව ඇත්තේ පර්යේෂණවලට අදාළ මේ ලක්ෂණය නිසා ය.
ඇ) දැනුම සමුච්චිතයි (Cumulative) කියන අදහසේ තේරුමත් මේකයි. නව දැනුමක් හොයා ගන්නේ දැනටමත් පවතින දැනුමක් පදනම් කර ගෙනයි. “මා වෙනත් අයට වඩා වැඩි දෙයක් දැක ඇත්නම්, ඒ මට පෙර සිටි යෝධයන්ගේ කර පිට නැගි නිසා ය" යනුවෙන් අයිසෙක් නිව්ටන් පවසා ඇත්තේ ද මේ නිසා ය (4 වන රූපය). පැරණි විද්‍යා  පෙළ පොතක පිටකවරයේ රූපයෙන් ද නිව්ටන්ගේ මේ අදහස නිරූපණය වේ (5 වන රූපය). සමුච්චිත දැනුමට හොද ම උදාහරණය සිද්ධාර්ථ කුමරුගේ  චරිතයයි. සිද්ධාර්ථ කුමාරයා, ගිහි ගෙය අත හැර ගිය පසු කළ පළමු දේ එවකට සිටි උගතුන් වූ බමුණන්ගෙන් (ආලාර කාලාම,  භාර්ගව, උද්දකරාමපුත්ත) පවතින දැනුම සොයා ගැනීම ය. එසේත් නැති නම් මගේ ගැටලුවට මේ උගතුන් ළග දැනුම තිබේ ද කියා සොයා  බැලීම ය.  ඔවුන්ගෙනුත් සමහර ධ්‍යාන (පවතින දැනුම) සිද්ධාර්ථ කුමාරයා ලබා ගත්තාට පසුයි, “නිවන" යන නව දැනුම සෙවීමට ස්වකීය පර්යේෂණය පටන් ගත්තේ. එම පර්යේෂණයේ පියවර දෙකයි. දුෂ්කර ක්‍රියා අවදිය සහ මධ්‍යම ප්‍රතිපදා අවධිය ලෙස.
(ඈ) ඉංග්‍රීසි ප්‍රකාශය පදනම් කර ගෙන මා ඉදිරිපත් කරන මේ කරුණු අනුව, සිංහල පරිවර්තනය වැරදි අදහසක් දෙන බව පැහැදිලි ය.  සිංහල පුවරුවෙහි, පුද්ගලික හෝ වෘත්තීය ජිවිතය අදාළ කර ගත් හෝ විනය පරීක්ෂණයක් මුල් කර ගත් කරුණු ලියැවී ඇත.
(ඉ)  ප්‍රාථමික මූලාශ්‍රය හා ද්විතීයක මූලාශ්‍රය ගැන  තව සංකල්පයක්, මේ පුවරු දෙක ඔස්සේ ඉදිරිපත් කරමි.  මෙහි සිංහල පුවරුව ද්විතීයක මූලාශ්‍රයක් හා  ඉංග්‍රීසි පුවරුව ප්‍රාථමික මූලාශ්‍රයක් ලෙස තාවකාලික ව සදහන් කළත් මේ ඉංග්‍රීසි පුවරුවත් ප්‍රාථමික මූලාශ්‍රය නො වන්නට පුඵවන. මේ අදහස ලියැවුණු, මීටත් වඩා මුල් ම ලේඛනයක් වී නම් එය ම ප්‍රාථමික මූලාශ්‍රය වේ. ඒ මුල් ම ලේඛනයේ තිබූ එක අකුරක්-පදයක් හෝ වැරදිවට මේ ඉංග්‍රීසි පුවරුවේ දී උපුටා ලියැවී තිබෙන්නට පුඵවන. එවිට මේ ඉංග්‍රීසි වාක්‍යයේත් අදහස වෙනස් වන්නට පුඵවන. 
      මේ ප්‍රසිද්ධ උදාහරණය ඔබ අසා ඇතැයි සිතමි. “සරදියල් එල්ලා මරන්න එපා, නිදහස් කරන්න" ලෙස පණිවිඩය එවිය යුතු වූ නමුත් කොමා ලකුණ නැති ව එය එවූ නිසා  
“සරදියල් එල්ලා මරන්න එපා නිදහස් කරන්න"
ලෙස ආ පණිවිඩයේ පහත ලෙස කොමා ලකුණ තබා වෙනස් කර, සරදියල් එල්ලා මැරූ බව.
“සරදියල් එල්ලා මරන්න, එපා නිදහස් කරන්න"
(ඊ) එසේ ම අයින්ස්ටයින්ගේ මුල් ලියැවිල්ලේ තවත් කරුණු තිබිණි නම්, ඒ සමස්ත කරුණුවලට සාපේක්ෂ ව ද මේ පුවරුවේ ඇති වාක්‍යයයේ අදහස වෙනස් වන්නට පුඵවන.  මේ නිසා පර්යේෂණවල දී හැකි තරම් ප්‍රාථමික මූලාශ්‍රය කරා ම යාම අවශ්‍යයි. උදාහරණයක් ගත හොත් “කොට උඩ" යන්නේ පදාර්ථ තේරුම "කොට උඩ තිබෙනවා" හෝ  " කොට උඩ ඉන්නවා" යනු ය. එහෙත් “මේ දවස්වල මට හන්තර්. අතේ සතේ නෑ. කොට උඩ. ඒ නිසා මන් ගත්ත ණය ටිකක් පරක්කු වෙලා දෙන්න ද?" ලෙස කිසිවකු කියන්නේ නම් “කොට උඩ" යන පද දෙකේ අර්ථය වෙනස් වන බව ඔබ දන්නෙහි ය.   
(උ) මේ පිළිබද ව වැඩිදුරටත් කරුණු සොයන විට පැහැදිලි වනුයේ අයින්ස්ටයින් මේ ප්‍රකාශය, මේ ලෙස ම කළ බවට සාක්ෂ්‍යයක් නැති බව ය. ඔහුගේ ප්‍රකාශිත අදහස් ගොනු කර හෝ භාවාර්ථය ප්‍රකාශ කර / භාවසන්නය කර (Paraphrase)  මේ පුවරුව වෙන අයකු විසින් සකස් කර ඇති බවට ද අදහස් අන්තර්ජාලයේ පළ ව තිබේ.
 (W!) මා මේ ලියන කරුණුත් ද්විතීයකයි. එයින් අදහස් වනුයේ මා ද සමහර විට, දැනුම්වත් ව හෝ නො දැනුම්වත් ව, වැරදි අදහස් ලියා, වැරදි අර්ථකථන මේ ලිපියේ දෙන නිසා වන්නට පුඵවන. ඒ නිසා ඔබ සැම ප්‍රාථමික මූලාශ්‍රය ම සොයා යාමේ පුරුදුද ඇති කර ගත යුතු ය. මුහුණු පොතේ පෝස්ටු බොහොමයක්  ද්විතීයක මූලාශ්‍රය බව ද පැවසිය යුතු ය.
(එ) මා ඉදිරිපත් කරන සංකල්ප තවදුරටත් තේරුම් ගැනීමට, පළමු ව බාෂි සුසාන් ගයන සිංහල ගීයක් නිරීක්ෂණය කරමු. එහි අදහස හා රූපරාමු, එම ගීතයට පදනම් වූ අද්නාන් සාමි ගයන හින්දි ගීයට වඩා කෙතරම් වෙනස් වන්නේ දැයි බලන්න. සිංහල ගීයේ තනුව සහ සංගීත නිර්මාණය සැලකුව හොත්  ද්විතීයකයි. හින්දි ගීතය ප්‍රාථමික මුල් නිර්මාණය යි. දැන් රූපවාහිනියේ වැඩසටහනකට උපේඛා නිර්මාණී ගයන ගීතයක් නරඹමු. එය මුල් ම ගීය නො වන බවත් ද්විතීයක බවත් අපි දනිමු.  ඒ නිසා ප්‍රාථමික මූලාශ්‍රය වන රුක්මනී දේවි ගයන චිත්‍රපට ගීතය නරඹමු; නිරීක්ෂණය කරමු. ද්විතීයක මූලාශ්‍රයට වඩා ප්‍රාථමික මූලාශ්‍රය වටිනා බව ඔබට වැටහේවි.  එහෙත් ප්‍රාථමික මූලාශ්‍රය ලෙස අප සලකන අද්නාන් සාමි සහ රුක්මනි දේවි ගයන ගී, කෙතරම් නව නිර්මාණ ම වේ දැයි සොයා ගිය හොත්, සංගීතය පිළිබද විශේෂඥයකුට ඒවාට ද සම්බන්ධ ප්‍රාථමික රාග තාල හෝ තනු නිර්මාණ ද සොයා ගත හැකි වනු ඇත.










No comments:

Post a Comment