Monday 6 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් -(14) මුහුණු පොතේ මුහුණු ඉරියව් නිරීක්ෂණයෙන් උද්ගාමී ව න්‍යායයක් ගොඩ නගන්නට බලමු



අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - ^14&: මුහුණු පොතේ මුහුණු ඉරියව් නිරීක්ෂණයෙන් උද්ගාමී ව න්‍යායයක්  ගොඩ නගන්නට බලමු
(1)   මා දුටු මුහුණුපොතේ කාන්තා මුහුණක ඉරියව්වකින් ගැටලුවක් ඇති විය (1 වන රූපය). මුහුණු පොතට මුහුණ පෙන්වීමේ දී මේ කාන්තාව වම් පසට මුහුණ හරවා සිටියත් දෑස් දකුණු දෙසට හරවා බලා හිදින්නීය.  මෙය මුහුණු පොතට ස්වකීය මුහුණ පෙන්වන ඇයට ආවේණික ලක්ෂණයක් ද?  මේ ගැන දත්ත රැස් කිරීමට මුහුණු පොතේ වූ මැයගේ තවත් සමීප රූපයක් නිරීක්ෂණය කළෙමි (2 වන රූපය). ඒයින් ද සමාන මුහුණු ඉරියව්වක් නිරූපණය විය. මැය තනි ව පෙනී සිටින ඡායාරූප මෙන් ම, තවත් කෙනකු සමග මුහුණු පොතට පෙනී සිටින විට ද මේ මුහුණු ඉරියව්ව ම නිරූපණය කරන්නේ දැයි විමසීමට, ඇය තව කෙනකු සමග සිටින ඡායාරූප තුනක් නිරීක්ෂණයෙන් ද දත්ත රැස් කළෙමි (3-5 වන රූප). අපූරු ය. සමාන මුහුණු ඉරියව්ව සෑම ඡායාරූපයක ම වේ. මේ අනුව මට මෙවන් අනුමාන සිතිවිල්ලකට (Hunch), නිරීක්ෂණ දත්ත පදනම් ව එළැඹිය හැකි විය. "මුහුණු පොතට මුහුණ පෙන්වීමේ දී මේ 'සුවිශේෂී කාන්තාව' වම් පසට මුහුණ හරවා සිටියත්, දෑස් දකුණු දෙසට හරවා බලා හිදීමේ පුරුද්ද සහිත ය."
(2)   මේ අනුමාන සිතිවිල්ල අනුව මට පැන නැගුණු දෙ වන ගැටලුව වනුයේ මෙය මුහුණු පොතේ සියලු කාන්තාවනට පොදු ලක්ෂණයක් ද යනු ය.  එහෙත් මට දැනට පහත සදහන් ආකාරයේ සිතිවිල්ලකට නම් එළැඹිය නො හැකි ය.  
“මුහුණු පොතට මුහුණ පෙන්වීමේ දී  'සියලු කාන්තාවෝ' වම් පසට මුහුණ හරවා සිටියත්, දෑස් දකුණු දෙසට හරවා බලා හිදීමේ පුරුද්ද සහිත වෙති."
එවන් සිතිවිල්ලකට එළැඹිය නො හැක්කේ, එවන් නිගමනයකට එළැඹීමට අවශ්‍ය දත්ත මා සතු නො වන නිසා ය. ඇරිස්ටෝටල් (Aristotle)  නම් ශ්‍රේෂ්ඨ ග්‍රීක දාර්ශනිකයා පිළිබද උදාහරණයකින් ද මෙය තවදුරටත් පැහැදිලි කරමි.  "මකුඵවකුට කකුල් කීයක් තිබේ ද?" යන ප්‍රශ්නය ඇති වූ විට එය විසදීම රජය විසින් පවරනු ලැබුවේ ඇරිස්ටෝටල් දාර්ශනිකයා වෙත ය.  එය විසදීමේ අරමුණින්, ඇරිස්ටෝටල් මකුඵවකු අල්ලා ගෙන උගේ කකුල් කිහිප සැරයක් ගණන් කර තිබේ. සැම වර ලැබුණු උත්තරය වූයේ 6 ය.  ඒ අනුව ඇරිස්ටෝටල් නිගමනය කර තිබෙනුයේ මකුඵවන්ට කකුල් 6ක් බැගින් තිබෙන බව ය. එහෙත් මකුඵවකුට කකුල් 8ක් තිබේ. ඇරිස්ටෝටල්ට ගණනයේ දී වූ වැරුද්ද ලෙස සලකනුයේ ඔහු අහම්බෙන් මකුඵවකු තෝරා ගත්තත්, ඒ සතා කකුල් දෙකක් කැඩුණු  මකුඵවකු වීමයි.  එසේ ම එක මකුලුවකු පමණක් ගෙන  නිරීක්ෂණය කිරීමෙන් පමණක් තීරණයකට එළැඹීම ය (ඒ යුගයේ ම අප්‍රසිද්ධ පුද්ගලයකු වූ ජේම්ස් ලැමාර්ක් (James Lamarck)  නිවැරදි ව මකුඵවාට කකුල් 8ක් ඇතැයි කීව ද එය කිසිවකු විශ්වාස නො කළේ, සමාජයේ වඩා පිළිගැනීමක් තිබූ ඇරිස්ටෝටල් කී දෙය සත්‍යය ලෙස, අන්ධ භක්තියෙන් පිළිගත් නිසා ය). 
පර්යේෂණයකට පිවිසෙන විට පුද්ගලයාගේ නම හෝ තනතුර හෝ වැදගත් නොවන්නේ මේ නිසා ය. පර්යේෂණ වාර්තාවක් හෝ පොතක් ලියන විට, අප පුද්ගලයන්ගේ තනතුරු (ආචාර්ය-මහාචාර්ය වැනි) නොදැමිය යුත්තේ ද මේ නිසා ය.
(3)   ඇරිස්ටෝටල් පිළිබද උදාහරණය අනුව  තෝරා ගත් කතකගේ විවිධ මුහුණු ඉරියව් නිරීක්ෂණය නවතා, උද්ගාමි (Inductive) ලෙස තවදුරටත් දත්ත රැස් කිරීමට, මුහුණු පොතේ ප්‍රසිද්ධ කර තිබූ වෙනත් කාන්තාවකගේ මුහුණු තුනක් ද නිරීක්ෂණය කළෙමි (6-8 වන රූප).  එවිට පළමු වන කතගේ මුහුණු ඉරියව්වට සමාන ඉරියව් මේ මුහුණුවල ද දක්නට ලැබුණු හෙයින්  “මුහුණු පොතට මුහුණ පෙන්වීමේ දී  'සියලු කාන්තාවෝ' වම් පසට මුහුණ හරවා සිටියත් දෑස් දකුණු දෙසට හරවා බලා හිදීමේ පුරුද්ද සහිත වෙති" යන අදහස සනාථ කිරීමට තවදුරටත් දත්ත ලැබිණී.  මේ සිතිවිල්ල තවදුරටත් තහවුරු කර ගැනීමට, තවත් කතුන් දෙදෙනකුගේ රූප දෙක බැගින් නිරීක්ෂණය කළෙමි (9-12 වන රූප).  ඒ අනුවත් සමාන ලක්ෂණ හදුනා ගැනිණි.
(4)   මෙතෙක් මා රූප තෝරා ගනු ලැබුවේ එක් අයකුගේ රූප 5ක්, 3ක් සහ 2ක් ලෙස අඩු වන ශෛලියෙනි. එසේ කරනු ලැබුවේ සිතිවිල්ල තහවුරු වන ශෛලිය අනුව නිරීක්ෂණ අඩු කළාට කමක් නැත යන අදහස මට පැමිණි නිසා ය. අනතුරු ව අවසන් වසයෙන් එක් අයකුගේ එක් මුහුණ බැගින් තෝරා ගෙන, තවත් මුහුණු දෙකක් නිරීක්ෂණය කළෙමි (13-14 වන රූප). ඒ අනුව ද මගේ නිරීක්ෂණ පාදක ව ගොඩ නගා ගත් සිතිවිල්ල තහවුරු විය.  
(5)  මෙතෙක් මා තෝරා ගෙන තිබෙනුයේ, මුහුණු පොතේ තිබූ සමීප මුහුණු පමණක් නේ ද? යන අදහස මට මේ අවස්ථාවේ දී අහම්බෙන් සිහියට නැගිණි.  එහෙයින් පර්යේෂක සිතකට තිබිය යුතු කුතුහලයට අනුව, මුහුණු පොතේ සමීප මුහුණුවල මෙන් ම දූරස්ථ රූපවල ද සමාන මුහුණු ඉරියව් වේ දැයි බැලීමට සිත් වූයේ, විවිධ පරිසර තත්ත්වවල සිටින විට මුහුණු පෙන්වන ඉරියව් වෙනස් විය හැකි ද යන ගැටලුව මට ඇති වූ නිසා ය. ඒ ගැටලුවට ද උත්තර ගත හොත්, සමීප සහ දූරස්ථ රූපය යන සාධකය අනුව (පාරිභාෂික පදයක් කිව හොත් විචල්‍යය -variable- අනුව) වඩාත් සරු දත්ත පාදක කර ගෙන තීරණයකට එළැඹීමට හැකි යයි සිතුණි.  එහෙයින් මුහුණු පොතේ වූ දූරස්ථ කාන්තා රූප 3ක් ද නිරීක්ෂණය කළෙමි (15-17 වන රූප). අනතුරු ව මුහුණු පොතේ පිටු පෙරළන විට මතු වූ තවත් විචල්‍යය තුනක් පදනම් කර ගෙන මුහුණු පොත් පිටු පරීක්ෂා කළෙමි. ඒ විචල්‍යය මෙසේ ය.
(අ)  නර්තනයේ යෙදෙන නැටුම් ශිල්පිණියකගේ ඉරියව් දෙකක් (18-19වන රූප)
(ආ) මුහුණු පොත්වලට කොමෙන්ටු දැමීමට භාවිත කරන රූප රාමු දෙකක් (20-21 වන රූප)
(ඇ) රේනු පතිරණ විසින් අදින ලදු ව මුහුණු පොතේ පළ වූ ස්ත්‍රී චිත්‍රයක් (22 වන රූපය)
18-22 වන මුහුණුවල, මුහුණු ඉරියව් ද මැනවින් නිරීක්ෂණය කළෙමි.  මේ සියලු නිරීක්ෂණ අනුව  "මුහුණු පොතට මුහුණ පෙන්වීමේ දී  සියලු කාන්තාවෝ වම් පසට මුහුණ හරවා සිටියත් දෑස් දකුණු දෙසට හරවා බලා හිදීමේ පුරුද්ද සහිත වෙති" යන මවිසින් අනුමාන කළ අදහස දැන් තවදුරටත් තහවුරු වන බවට සිතිවිල්ලක් මට හැගෙයි.  මෙයට (විචල්‍ය හතරක් පාදක ව) යන පද ද, පහත පරිදි එකතු කළ හැකි ය.
" මුහුණු පොතට මුහුණ පෙන්වීමේ දී  සියලු කාන්තාවෝ වම් පසට මුහුණ හරවා සිටියත් දෑස් දකුණු දෙසට හරවා බලා හිදීමේ පුරුද්ද සහිත වෙති. විවිධ වූ විචල්‍ය හතරක් පාදක ව මේ අදහස  සත්‍ය වේ."
(6) එහෙත් අනුමාන සිතිවිල්ලට මද පරහක් වන සේ 15 වන රූපයේ කාන්තාවගේ මුහුණේ ඉරියව්ව මදක් වෙනස් බවට සැකයක් ඇති වේ. එවන් සුවිශේෂී ලක්ෂණ සහිත කෙනකු දෙදෙනකු සිටිය ද, සමස්තය ගැන නිගමනයක් ගැනීමට එයින් බාධාවක් නැත. උදාහරණයක් ලෙස සියලු කපුටන් කඵ බව අපි දනිමු. එහෙත් ඉතා ම ඉතා කලාතුරකින් සුදු කපුටකු ද සිටින්නට පුඵවන. ඒ කිසියම් විශේෂ හේතුවක බලපෑම නිසා ය. ඒ නිසා 'සියලු කපුටන් කඵ ය' යන නිගමනයට පැමිණීමේ වැරුද්දක් නැත. මේ පදනම අනුව 15 වන රූපයේ කාන්තාවගේ මුහුණු ඉරියව්වේ මද වෙනසේ බලපෑමක් නැතැයි පර්යේෂකයකු ලෙස තීරණය කළ හැකි ය.
(7) මට මතු වූ මේ අදහස් සහ තීරණ ගැන තවදුරටත් ස්ථිර ව ම තහවුරු කර ගෙන න්‍යායයක් ගොඩ නැගීමට නැගිය යුතු ප්‍රශ්න හා නිරීක්ෂණය කළ යුතු දේ දැන් කෙටියෙන් සදහන් කරමි. ඒ අනුව ඉතිරි නිරීක්ෂණ කාර්යය කර, අනුමාන සිතිවිල්ල (Hunch) පාදක වූ න්‍යාය (Theory) තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම, මුහුණු පොතේ දිගුකාලින ව ඇලී ගැලී රැදි සිටින ඔබ සැමට භාර කරමි.
(අ) "මුහුණු පොතේ ලක්ෂ ගණන් සාමාජිකයෝ සිටිති.  එහෙයින් රූප 22න් ගත් අනුමාන සිතිවිල්ල තහවුරු කර ගැනීමට තවත් කොතරම් මුහුණු ගණනක් නිරීක්ෂණය කළ යුතු ද?" යනු විසදිය යුතු පළමු ප්‍රශ්නයයි. ගුණාත්මක පර්යේෂණයක් වසයෙන් මෙහි දී වැදගත් වනුයේ සංතෘප්තභාවය (Saturation) යන සංකල්පයයි. අප නාන විට හෝ කෑම කන විට, 'දැන් නෑවා ඇත', 'කෑවා ඇත' ලෙස හැගෙන අවස්ථාවක් එයි. එවිට නෑම-කෑම නවත්වනු ලැබේ. මුහුණු පොතේ මුහුණු නිරීක්ෂණය කර ගෙන යන විට ද "ආ ඇත්ත තමයි. බලන හැම රූපෙ ම මෙහෙමයි. ආයි තවදුරටත් දත්ත රැස් කිරීම අනවශ්‍යයි. දැන් දත්ත රැස් කළා ඇති" යන සංතෘප්ත හැගීම පර්යේෂකයාට ඇති විය යුතු ය. ඒ හැගීම ඇති වන තෙක් දත්ත රැස් කරන්න.
(ආ) මෙය ලියා ගෙන යන විට මට, අහම්බෙන් නිවසේ සාලයේ රාමු කර එල්ලා ඇති ඡායාරූපයක් දකින්නට ලැබිණි. එවිට මගේ කුතුහල මනසට, මෙවන් ප්‍රශ්නයක් නැගෙන්නට විය. මුහුණු පොතේ පමණ ද මේ ඉරියව්ව තියෙන්නේ?  මුහුණු පොත ලෝකයට එන්නට පෙර ගත් ඡායාරූපවල මේ ලක්ෂණය නැති ද?  මේ අනුව මට තවත් පර්යේෂණ ප්‍රශ්නයක් නගන්නට සිතිවිලි පහළ විය.
"මුහුණු පොත ලෝකයට එන්නට පෙර ගත් ඡායාරූපවල සහ මුහුණු පොතේ කාන්තා මුහුණු ඉරියව් සමාන ද?"
(ඇ) මේ අනුව නිවෙස්වල එල්ලා ඇති ඡායාරූප ද නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාව ඇත. මේ ගැන සිතමින් මුහුණු පොත පෙරළන විට, මට අහම්බෙන් ගජමන් නෝනා නාට්‍යයේ රගපෑ ප්‍රධාන නිළියගේ ඡායාරූපයක් මුහුණුපොතින් ලැබිණි (23 වන රූපය).  ඇයටත් සමාන ඉරියව්වක් තිබෙනවා නේ? දැන් තව පර්යේෂණ ප්‍රශ්නයක් ගොඩ නැගිය හැකි ය.
"මුහුණු පොත ලෝකයට එන්න පෙර, නාට්‍යවල රගපෑ නිළියන්ගේ එළි දැක්වුණු ඡායාරූප සහ මුහුණු පොතේ කාන්තා මුහුණු ඉරියව් සමාන ද?"
(ඈ) කාන්තාවන්ගේ මුහුණුවලට පර්යේෂණ ඇස යොමු කර සිටි මගේ නෙතට හදිසියේ ම පිරිමි රුවක් දිස් විය. වික්ටර් හ්‍යුගෝ සතු රූපය (24 වන රූපය).  , මෙතෙක් මා දුටු කාන්තා මුහුණු ඉරියව්වට ම සමාන ඉරියව්වක් සහිත වූයේ මන්ද? මට ගැටලු දෙකක් මතු විය.
පළමු ව මුහුණු පොතේ සිටින සාමාන්‍ය පිරිමියකුට වඩා නමක් හා ගරුත්වයක් ඇති වික්ටර් හ්‍යුගෝ සතු මේ රූපය පදනම් කර ගෙන පමණක්, ස්ත්‍රී-පුරුෂ විචල්‍යය අනුව මුහුණු ඉරියව්වල වෙනසක් නැති යයි, පර්යේෂකයකු ලෙස මට නිගමනය කළ හැකි ද?
දෙවනු ව මවිසින් නිවැරදි නිගමනයක් ගනු ලැබීමට, කෙතරම් නම් පිරිමි ගණනකගේ මුහුණු නිරීක්ෂණය කළ යුතු ද?
(8) මා පර්යේෂකයකු ලෙස අමාරුවේ දමන සහ තවදුරටත් මගේ පර්යේෂණ කාර්ය සංකීර්ණ කරන රූපයක් හදිසියේ ම මුහුණු පොතකින් මතු විය. ඒ වමට හැරී සිටින නමුත් දකුණට ඇස් යොමු කර සිටින සුනඛ රාජයෙකි (25 වන රූපය).  .  අපූරුයි. කැනඩාවේ සුනඛයන් ඇති කරනුයේ ළමයින් මෙන් හුරතලයට ය. ඒ නිසා, "අනේ මටත් සුනඛයෙක් වන්න ඇති නම් යන සිතිවිල්ල" ද සමහර විට ඇති වේ. සුනඛයන්ගේ මුහුණු ඉරියව් ගැනත් නිරීක්ෂණය කර මිනිසුන් සහ සුනඛයන්ගේ මුහුණු ඉරියව් සමාන දැයි සෙවීමට ද දත්ත රැස් කිරීම මැනවි. ඒ සදහා කැනඩාවේ මෙන් ම ශ්‍රී ලංකාවේ ද  බල්ලන් සුරතලුන් සේ ඇති කරන අයට විවෘත ව ආරාධනා කරමි.
(9) මේ ආරාධනය කර මේ සටහනට අවසන් තිත තබන්නට සිටින විට, තවත් අපූරු මුහුණක් හදිසියේ මුහුණු පොතින් මතු විය  (26 වන රූපය).  එහි ඇස් නිරීක්ෂණය කරන විට පෙනෙනුයේ ඇස් දෙකේ කඵ ඉංගිරියා දෙක දෙපළක තිබෙන බව ය. මේ හැකියාව මේ කාන්තාවට තිබේ ද? වෙනත් පිරිමින්ට හා කාන්තාවන්ට මේ හැකියාව නැති ද? මෙයත් මුහුණු පොතේ සමහර චිත්‍ර මෙන් විකෘති කළ චිත්‍රයක් පමණක් ද? නැති නම් සැබවින් ම කාන්තාවක සහ මිනිසුන් සතු හැකියාවක් ද?  ඇස්වලට විශේෂඥ වෛද්‍යවරුන් සිටින්නා සේ දකුනු ඇසටත් වම් ඇසටත් වෙන වෙන ම  විශේෂඥ වෛද්‍යවරැන් ද දැන් දැන් බිහි වෙමින් පවතින බව මා අසා තිබේ.  ඒ නිසා මෙය ස්වභාවික සංසිද්ධියක් ද?  මේ පර්යේෂණය ද ඔබ සැමට භාර ය. 

























අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (13) රනිල් ශ්‍යාමන්ත මීටියාගොඩ: ශාන්ත සිල්වෙස්තර විදුහල්පති භූමිකාව


අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (13) රනිල් ශ්‍යාමන්ත මීටියාගොඩ: ශාන්ත සිල්වෙස්තර විදුහල්පති භූමිකාව

2001-2017 කාලයේ ශාන්ත සිල්වෙස්තරයේ විදුහල්පති ලෙස සේවය කර, නොවැම්බර් මස 6 වන දින විශ්‍රාම යාමට නියමිත, තේනුවර රනිල් ශ්‍යාමන්ත මීටියාගොඩ විදුහල්පති භූමිකාව පාදක කර ගත් උක්ත ජීවිත ඉතිහාස පර්යේෂණ වාර්තාව,  2017 නොවැම්බර් මස 2 වන දින විදුහල්පතිතුමාට පිළිගැන්වීමෙන් පසු  සමාජගත කරනු ලැබේ. රනිල්  මීටියාගොඩ විදුහල්පතිතුමාගේ ශාන්ත සිල්වෙස්තර විද්‍යාල භූමිකාව පර්යේෂණ දෘෂ්ටියෙන් නිර්වචනය කිරීම, හෙතෙම පුද්ගලික සහ රාජකාරි ජීවිතය අර්ථනිරූපණය කළ අයුරු සුවිශේෂී ව හදුනා ගෙන අර්ථ නිරූපණය සහ මෙකී දෙයාකාර ප්‍රවේශ සදහා ඔහුගේ විවිධ අත්දැකීම් සහිත ජීවිත පසුබිම බලපෑ අයුරු විශ්ලේෂණය යන අරමුණු පාදක ව ජීවිත ඉතිහාස පර්යේෂණය කරන ලදී.  විදුහල්පති  සමග සේවය කළ ගුරුවරුන් ඇතුඵ කාර්ය මණ්ඩලයේත් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින්-දෙමාපියන්-ආදි ශිෂ්‍යයන් නියැදියකගේත් සංජානන ද කෘතියට ඇතුළත් ය. ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය මාතෘකා කර ගෙන (Topical Life history)  ද පර්යේෂක දෙපළගේ (ගොඩ්වින් කොඩිතුවක්කු සහ හේමාලි ඒකනායක) සංස්කරණය මූලික ව (Edited Life history) ද කළ ජීවිත ඉතිහාස පර්යේෂණයට (Life history research),  සන්ධාර විශ්ලේෂණ සහ සංසිද්ධි විද්‍යා පර්යේෂණ මූලධර්ම ද මිශ්‍රිත ව පවති.  
පර්යේෂණයෙන් සිල්වෙස්තරයට සම්බන්ධ මීටියාගොඩ විදුහල්පති භූමිකාවෙහි අවදි තුනක් හා ඒ ඒ අවදියට අදාළ රටා ද හදුනා ගත හැකි විය. ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට ආදර්ශයට ගත හැකි, යහපත් ව්‍යවහාර (Good practices) විස්සක් ද  හදුනා ගත හැකි විය.
"රනිල් ශ්‍යාමන්ත මීටියාගොඩ: ශාන්ත සිල්වෙස්තර විදුහල්පති භූමිකාව" පිළිබද ජීවිත ඉතිහාස පර්යේෂණය ඇතුළත් කෘතිය, ශ්‍රී ලංකාවේ විදුහල්පති භූමිකාව පිළිබද ව පර්යේෂණ පාදක ව පවතින  දැනුම් හිඩැස පිරවීමේ ලා වන ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ද වේ. ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ, ජීවිත ඉතිහාස පර්යේෂණ ක්‍රමය භාවිත කිරීමට, පළමු වරට ගත් ප්‍රයත්නයක් ද වන්නේ ය. 
පර්යේෂණය සදහා මුහුණු පොත් ජාලයේ රසිකා දමයන්ති, අයේෂා කුලරත්න, අජිත් පෙරේරා, අනිල් විතානගේ" kandy memes, නිරාෂා කරුණාරත්න යන සාමාජික සාමාජිකාවන් ද විවිධ අයුරින් දායක වූ බව ස්තුති පූර්වක ව පවසමි.  කෘතිය මුද්‍රණය කර පළ කරනු  ලබනුයේ ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයයේ ගුරු සුභ සාධක සංගමයේ අනුග්‍රහයෙනි.
ජීවිත ඉතිහාස පර්යේෂණ ක්‍රමය ගැන මවිසින් ලියන ලද ලිපියක් ද ඔබ සැමගේ වැඩි අවබෝධය සදහා අමුණමි. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා නිහඩ ව සේවය කරන ගුරුවරුන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන නිලධාරින් ඇතුඵ අනෙකුත් සියලු ක්ෂේත්‍රවල වෘත්තිකයන් ද ප්‍රජා සාමාජිකයන් ද පිළිබද ව ජීවිත ඉතිහාස පර්යේෂණ කර, ඔවුන්ගේ සේවය රටට හෙළි කිරීමට ඔබ සැමට හැකි වේ වා  යයි පතමි. මුහුණු පොතෙහි සාමාජිකයන් අතර ජීවිත ඉතිහාස පර්යේෂණකරණයේ නිරත වීමට ශක්‍යතාව සහිත පර්යේෂක මනස් සහිත සාමාජිකයන් සිටින බව පැහැදිලි ය. උදාහරණ තුනක් පමණක් දක්වමි.

·         Avishka Madushanka Bulathsinhalage ගීත සහ දෙස් විදෙස් ගායක ගායිකාවන් ඇතුඵ කලාකරුවන් ගැන කරන විග්‍රහ උදා- ශ්‍රී ලාංකික සිනමා වංශ කථාවෙ අද්විතීය රංගධරයා ඔහුයි (ගාමිණී පොන්සේකා)
·    
       අරුණාලෝකය....The dawn යන පිටුවේ පළ වන සමහර  ලිපි උදා- Pemas Gunasinghe  "මැදගම දේවාලේ"

·         Sripali Pattikara  "මේ මගෙ අම්මගෙන් මට ලැබුණු මුල්ම සංගීත භාණ්ඩය" සහ එයට ප්‍රතිචාර දැක්වූ  
      
       Arunavanna Athukorala ගේ පාසල් සමයේ විස්තරය.  "මේ කතාව මේ පෝස්ට් එකට එල්ලුවෙ නැත්නම් ආයෙ මගෙ‘‘ ගෝල කමින්‘‘ ඇති වැඩක් නෑ...ඔබ තුමීගෙ ගමේ ගෙදර ඉස්තෝප්පු කාමරේ එකට ගුලිවෙලා සංගීතෙ ඉගෙන ගනිද්දි ඔය ඕගන් එක තියල තිබුණෙ හැම සංගීත භාණ්ඩෙකටම වඩා උඩින්ම. ඔය ඕගන් එක අඩියක්වත් දිග නෑ මගෙ හිතේ . ඒ තරම් පුංචියි... "