Monday 6 November 2017

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (2) ගීතයකින් පර්යේෂණ ක්‍රම හඳුනා ගනිමු

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (2) ගීතයකින් පර්යේෂණ ක්‍රම හඳුනා ගනිමු
(අ.) වසරකට පෙර 2016 සැප්තැම්බර් 10 වන දින You tube වෙතින් මේ ගීය බාගත කරලූයේ දුහුනන් දැනුම් සදහා වූ අධ්‍යාපන පර්යේෂණ වැඩමුඵවල දී භාවිත කිරීම සදහා ය. පර්යේෂණ සංකල්ප සංකීර්ණ සංකල්ප ලෙස නො ව, සරල ව පැහැදිලි කිරීම සදහා ගීත නිර්මාණ භාවිත කිරීම මගේ පුරැද්දකි. ඒ හුරුව කවදා කෙසේ ලැබිණි දැයි සෙවීමේ ජීවිත ඉතිහාස පර්යේෂණය (Life history research) පසු ව කරන්නට සිතා ගෙන, මේ ගීයෙන් කුමන පර්යේෂණ සංකල්ප පැහැදිලි කරන්නට මා වෑයම් කළේ දැයි කරුණු බිදක් දක්වමි. 

 (ආ) මේ ගීය සහිත රූප රාමු පෙළින් ඉන්දියාව පිළිබද ව කුමන කරුණු ඉස්මතු වේ ද? ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල විවිධ ජනකොටස්වල ශරීර ලක්ෂණ සහිත ළමයි මෙහි රගති. ඉන්දියාවේ පළමු අගමැති ශ්‍රී නේරු සිහි ගන්වන වැඩිහිටි නඵවෙකි. ඉන්දීය ජන සමාජයේ විවිධ සමාජ තල සහ පරිසර ද නිරූපිත ය. මේ නිසා සමීක්ෂණ (Survey) පර්යේෂණයක් කර ගීතයෙන් ඉන්දියාව නිරූපණය වන අයුරැ විශ්ලේෂණය කළ හැකි ය.

(ඇ) ළමයින්ට ශත 5ක් විසි කරන මව, එය තම දරුවාගේ හිස වටා කරකවා ආශිර්වාද කළ පසුවයි, එම දානය ලබා දෙනුයේ. එමගින් ජන කණ්ඩායමක විශ්වාස පද්ධතිය සහ ජීවත් වන ක්‍රම ගැන කළ හැකි මානව වංශ විවරණ (Ethnography) පර්යේෂණ ගැන ඉගියක් ලබා ගත හැකි ය. වීථිවල ගීයක් ගයමින් යන මේ ළමා කණඩායම ද ඔවුනට විවිධ පරිත්‍යාග ලබා දෙන මිනිස් කණඩායම් ගැන ද අධ්‍යයනයට එකී පර්යේෂණ ක්‍රමය ම උචිත ය.

(ඈ) දුප්පතකුට මුදලින් උදව් කිරීම යන සංසිද්ධිය, එකී මව දකින-අර්ථකථනය කරන ස්වභාවය සහ ශත පහ ලබන ළමයා දකින-අර්ථකථනය කරන ස්වභාවය අතර වෙනසක් පවති. මෙසේ සංසිද්ධියක්, විවිධ සමාජ කණ්ඩායම් විසින් විවිධ පරිදි අර්ථනිරූපණය කරන අයුරු හදුනා ගැනීමට සංසිද්ධිවිද්‍යා පර්යේෂණ (Phenomenological research) කළ හැකි ය. පරිත්‍යාග ලබා දෙන නිවසේ ඉහළ මාලයක සිටින ගැහැනු ළමයාගේ ද අනිකුත් මිනිසුන්ගේ ද සිතිවිලි සමාන හෝ අසමාන වන අයුරු ද එකී පර්යේෂණ ක්‍රමයෙන් හදුනා ගත හැකි ය. 

(ඉ) ගීතයෙන්, එය අසන ශ්‍රාවක සමූහයට ඇති වන හැගීමි පාදක කර ගෙන, ගීතයෙන් කියැවෙන පණිවිඩය සන්නිවේදනය වන ආකාරය පිළිබද ව සන්නිවේදනය පිළිබද මානවවංශ විවරණ පර්යේෂණයක් (Ethnography research on communication) කළ හැකි ය. ගීතය ආරම්භයේ මන්ද්‍ර ස්වරයෙන් ගැයෙන ගීය අග භාගයේ සමහර අවස්ථාවල දී උච්ච ස්වරයට හැරේ. මේ ස්වර පරාසවලින් සන්නිවේදනය කිරීමට අපේක්ෂා කළ හැගීම් ද සන්නිවේදනය පිළිබද මානවවංශ විවරණයෙන් හදුනා ගත හැකි ය. 

(ඊ) ගීතයේ පදමාලාව, සංගීත ස්වර රටාවේ අන්තර්ගතය, රූප කැමරාගත කර ඇති විවිධ කෝණ, කඵ-සුදු වර්ණ මිශ්‍ර වී ඇති ආකාරය සහ එ්වා රටාගත වී ඇති ආකාරය ගැන සන්ධාර හෙවත් අන්තර්ගත විශ්ලේෂණ පර්යේෂණයක් (Content analysis) කළ හැකි ය. 

(උ) 1953 දී, එනම් මා ඉපදෙන්නට වර්ෂයකට පෙර ප්‍රදර්ශනය වූ චිත්‍රපටයක ගීතයක්, මෙතරම් කලක් මිනිස් සිත් ගත් ගීතයක් ලෙස පවතින්නට හැකි වන ලෙස නිර්මාණය කළ, පද රචක, සංගීත නිර්මාපක, ගායක ගායිකා කණඩායම සහ චිත්‍රපට නිර්මාණශීලින් ගැන වෙන වෙන ම ප්‍රත්‍යෙක අධ්‍යයන (Case studies) කළ හැකි ය.
 

No comments:

Post a Comment