Saturday, 16 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (48) පාසල්වල හිංසනය ගැන දත්ත ද්විතීයක මූලාශ්‍රයකින්



කැනඩාවේ හෙද පාඨමාලාවකට අදාළ තේමාවක් වූ "හෙදකමෙහි විවාදාපන්න ගැටලු, ප්‍රවණතා, නායකත්වය සහ සාක්ෂ්‍ය පදනම් වූ ව්‍යවහාරය" යටතේ කළ කණ්ඩායම් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක දී බෙදා හැරි පත්‍රිකාවේ තේමාව පාසල්වල හිංසනයයි. මෙහි දී හිංසනය සෙෘඛ්‍ය ප්‍රශ්නයක් ලෙස අවධාරණය කර පත්‍රිකාව සකසා ඇත.  ඊට අදාළ ව  5 දෙනාගේ ශිෂ්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ අත්පත්‍රිකාවේ අන්තර්ගත කරුණු මෙසේ ය.  
හිංසාව යනු කුමක් ද?
කාලයක් යන තුරු නිරන්තර ව කරන  ආක්‍රමණශීලි-ප්‍රචණ්ඩ හැසිරීමයි. පාසලේ දී ළමයකුට-ගුරුවරයකුට හානි කිරීම, බිය ඇති කිරීම, දොම්නස-පීඩාව ඇති කිරීම හෝ ඍණ පරිසරයක් නිර්මාණය කිරීම එකී හැසිරීමේ අරමුණයි. පාසල් පරිසරයේ පුද්ගලයන් සතු බලය අසමබර වූ විට හෝ එවන් අසමබර බවක් ඇතැයි සංජානනය කරන විට හිංසාව ඇති විය හැකි ය.

හිංසා වර්ග
කායික හිංසාව - පහර දීම, තල්ලු කිරීම, අලාභහානි කිරීම, අන්සතු දෙය පැහැර ගැනීම
වාචික හිංසාව - නම් පට බැඳීම, සමච්චලය, ලිංගික-වාර්ගික-සමලිංගික චර්යා සහිත වූවන්ට පූර්ව විනිශ්චය සහිත ව සන්නාම (නම්ගම්) සැපයීම
සමාජ හිංසාව -  කණ්ඩායමකින් අයින් කිරීම, ඔවුන් ගැන ඕපාදූප-කටකතා පැතිරවීම
ලිඛිත හිංසාව - සිත් වේදනා දෙන හෝ අපහාස කරන පරිදි කරුණු ලිවීම
ඉලෙක්ට්‍රොනික හිංසාව (cyber bullying) – ඊමේල්, දූරකථන, සමාජ මාධ්‍ය ජාල මගින් ඕපාදූප හෝ අහිතකර පණිවිඩ යැවීම

ශිෂ්‍යයන්ට විය හැකි අන්තරාය
ආතතිය ඇතිවීම, කාංසාව/සාංකාව ඇති වීම, වෙන් වූ බව/තනි වූ බව  දැනීම, හිසරදය උදරයේ කැක්කුම වැනි ආතතිය සම්බන්ධ සෞඛ්‍ය ප්‍රශ්න ඇති වීම, ආත්මමානය අඩුවීම, පාසල් නොපැමිණීම සහ සාධනය පිළිබඳ ගැටලු, ආක්‍රමණික චර්යා, සිය දිවි නසා ගැනීමට කල්පනා කිරීම-තැත් කිරීම-සියදිවි නසා ගැනීම

අන් අයට හිරිහැර කරන- හිංසනයේ යෙදෙන ශිෂ්‍යයන්ගේ ජීවිතවලට ද හානි විය හැකි ය.  විය හැකි තර්ජන මෙසේ ය.
හරි හා වැරදි දේ කුමක් දැයි අතර වෙනස නොදැනීම, බාලාපචාරියකු වීම, ජීවිතයේ හරය අත් හැරීම,  අධ්‍යාපනික ගැටලු සහ පාසලෙන් ගිලිහීමේ අනුපාතය වැඩි වීම, ලිංගික හිරිහැර ක්‍රියාකාරකම්වල නිරත වීම, හමු වීම්වල දී (Dating) ආක්‍රමණශීලි වීම, කණ්ඩායම්වලට බැඳීම, අපරාධ පසුබිම සහිත වැඩිහිටියකු වීම, අන් අය හා සබඳතා පැවැත්වීම අපහසු වීම

 
පර්යේෂණ අනාවරණ
·         ශිෂ්‍යයන්ගෙන් 58%ක් හිංසනයට ලක් ව ඇත.
·         30%ක් අන් අයට හිංසනය කරති.
·         77%ක් හිංසනය දැක ඇතත්, ඒ පිරිසෙන් අඩක්වත් හිංසනය වැළැක්වීමට මැදිහත් නොවීම.
·         25%ක් තමන් හිංසනය ලබන අතර අන් අයට ද හිංසනය කරති.
·         12%ක් එක වරක් හෝ වැඩි වාර ගණනක් හිංසනයට ලක්වූ බව වාර්තා කර තිබේ.
·         පසුගිය වර්ෂයේ එක් වරක් හෝ සයිබර් හිංසාවට ලක්වූ බව සිසුන්ගෙන් 20%ක් පවසති.
·         හිංසනයට ලක්වූ ශිෂ්‍යන්ගෙන් 21%ක් පමණක් ගුරුවරුන්ට ඒ බව වාර්තා කරති.

හිංසනය නැවැත්වීමට ගත යුතු පියවර
·         අනවශ්‍ය පරිගණක සංවාදවලින් ඉවත් වන්න.
·         ආරක්ෂිත බව දැනේ නම් පමණක්, හිංසනය නවත්තැන්නයි හිංසකයාගෙන් ඉල්ලීමක් කරන්න.
·         හිංසනය නැවැත්විය හැකි මිතුරන්, ශිෂ්‍යයන්, තරුණයන්, වැඩිහිටියන් සොයා යන්න.
·         ගුරුවරයකුට හෝ වැඩිහිටියකුට හෝ වගකිව යුත්තකුට වාර්තා කරන්න.
·         අපරාධයක් වූවා සේ  නීති නිලධාරින්ට දන්වන්න.
·         හිංසනයට භාවිත කළ සමාජ මාධ්‍ය ජාල ගැන ඒවායේ බලධාරීන්ට දන්වන්න. 

Thursday, 7 June 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (47) සමීක්ෂණ පර්යේෂණකරණය නැමැති හිනිමග



1. පර්යේෂණයක් කිරීමට සංකල්පයක් (concept) (උදා- දුප්පත්කම, පරිකල්පනය, අධීක්ෂණය, අධිප්‍රජානනය, පෙළපොත වැනි සංකල්ප) කෙරෙහි සිත් බැඳුණු පර්යේෂකයකු දෙවැනිවට කළ යුතු වන්නේ සංකල්පයේ විවිධ මාන (dimensions) තේරුම් ගැනීම- සුවිශේෂ ව වෙන් කර ගැනීම සඳහා,  සංකල්පයට සම්බන්ධ ව දැනට පවතින දැනුම අධ්‍යයනයයි. පවතින දැනුමට, පර්යේෂණ සාහිත්‍යය යන පද දෙක පර්යේෂණ ක්‍රමවිද්‍යාවෙහි භාවිත වේ.  අදාළ පර්යේෂණ සාහිත්‍යය කියවමින් ගැඹුරින් විමර්ශනය කළ පසු පර්යේෂකට, තමා තෝරා ගත් සංකල්පයෙහි විවිධ මාන හඳුනා ගන්නට ඉඩ ලැබේ.
2.  මේ සමග ඇති රූපය අනුව, 'දුප්පත්කම' සංකල්පය ලෙස ගත හොත්, එම සංකල්පයට අදාළ ව සාහිත්‍ය විමර්ශනය පදනම් කර ගෙන හඳුනා ගත හැකි වූ මාන හතරක් (ආර්ථික දුප්පත්කම - සමාජ දුප්පත්කම - දේශපාලන දුප්පත්කම - මනෝවිද්‍යාත්මක දුප්පත්කම) වූයේ යයි සිතමු. පර්යේෂක විසින් මේ මාන හතරින් ස්වකීය පර්යේෂණය සඳහා තෝරා ගනු ලැබිය යුත්තේ එක මානයකි. මීට හේතුව කුමක් ද? පර්යේෂණ කිරීමේ දී අප අවධාරණය කළ යුතු වනුයේ සමස්තය ගැන මතුපිටන් කරුණු සොයා බලනු වෙනුවට, තෝරා ගත් සුවිශේෂී කරුණක් ගැන ගැඹුරින් කරුණු හැදැරීමට ය. ගැඹුරින් පර්යේෂණය කිරීම පහසු වීම සඳහා, සමස්ත සංකල්පය ම පර්යේෂණ තේමාව ලෙස නො ගෙන, සංකල්පයේ මාන අතරින් එකක් පමණක් ගැඹුරින් හැදෑරීමට තෝරා ගැනීම අවශ්‍ය වේ.
3. මේ පදනම අනුව පර්යේෂණයට තෝරා ගනු ලැබුවේ  'සමාජ දුප්පත්කම' යන මානය යයි සිතමු. ඉන් පසු පර්යේෂකගේ කාර්යය වනුයේ, විමර්ශනය කළ සාහිත්‍යය පදනම් කර ගෙන ම, සමාජ දුප්පත්කම නැමැති මානයෙහි තවදුරටත් ඇති උපමාන (sub dimensions) මොනවා දැයි හඳුනා ගැනීමයි. ඒ අනුව, සමාජ දුප්පත්කම නැමැති මානයෙහි, උපමාන තුනක් වූයේ යයි සිතමු. හුදෙකලාව කරණ කොට ඇති වූ සමාජ දුප්පත්කම, සමාජය පිළිගත් භූමිකා සතු නොවීම ඇති වූ සමාජ දුප්පත්කම සහ සමාජ කුශලතා සතු නොවීම නිසා ඇති වූ සමාජ දුප්පත්කම වසයෙනි.  අධ්‍යාපනපති (M Ed) හෝ ශාස්ත්‍රපති (MA) මට්ටමේ දී මේ උප මාන තුන ම පදනම් කර ගෙන පර්යේෂණ කිරිම උචිත වුවත් දර්ශනපති (M Phil) හෝ දර්ශනසූරි (Ph D) යන උපාධි මට්ටම්වල දී උචිත වනුයේ එක උපමානයක් තෝරා ගෙන ගැඹුරට කරුණු සොයා ගොස් පර්යේෂණයේ නියැළීමයි.
4. 'හුදෙකලාව කරණ කොට ගෙන ඇති වූ සමාජ දුප්පත්කම' යන උපමානය පර්යේෂණයට තොරා ගත්තේ නම්, පර්යේෂණයේ ඊළග පියවර විය යුත්තේ,   හුදෙකලාව කරණ කොට ඇති වූ සමාජ දුප්පත්කම යනු කුමක් දැයි තවදුරටත් නිශ්චිත ව හඳුනා ගැනීමට කාර්යාත්මක නිර්වචන (operational definition)   සොයා යාමයි. මේ අනුව න්‍යෂ්ටික පවුලක් වීම, මව හෝ පියා විදේශයක සිටීම නිසා දරුවා පවුලේ වෙනත් සාමාජිකයකු සමග ජීවත් වීම, මව පියා මිය යාම හෝ දික්කසාද වීම නිසා තනි මාපිය පවුලක් වීම ^single parent family) යන කාර්යාත්මක නිර්වචන අනුව, සමාජ හුදෙකලාව යන උපමානය කුමන රටාවක් ගන්නේ දැයි නිශ්චිත ව හඳුනා ගත හැකි ය. දැන් පර්යේෂණය සදහා නිශ්චිත සුවිශේෂී පදනමක් ඇත. ඒ පදනම අනුව දත්ත රැස් කිරීම සඳහා දත්ත රැස් කිරීමේ පර්යේෂණ උපකරණ සැකසීමට ඊළඟට අවශ්‍ය වනුයේ උපමානයට අදාළ ව ගොඩ නගා ගත්, කාර්යාත්මක නිර්වචන අනුව,  උපමානයේ අංගෝපාංග මැනීම සඳහා අවශ්‍ය දර්ශක (index) මොනවා දැයි නිශ්චිත ව තේරුම් ගෙන-හඳුනා ගෙන  ලියා ගැනීම ය.
5. දර්ශකවලින් නිරූපණය වනුයේ ඉතා ම සුවිශේෂි කර ගත් සංකල්ප ය. තවත් ලෙසකින් කිව හොත් පර්යේෂණවල දී සංකල්ප, මිනුමට බඳුන් කර, දත්ත රැස් කළ නො හැකි ය. එහෙත් දර්ශක මිනුමට බඳුන් කළ හැකි ය. එසේ සංකල්ප මිනුමට බඳුන් කර ගැනීමට නො හැකි වීමටත් දර්ශක මිනුමට බඳුන් කර ගැනීමට හැකි වීමටත් හේතුව වනුයේ මිනිසාගේ 'පසිඳුරන්ට ගෝචර වන ආකාරය' යන නිර්ණායකය නිසා ය. 'පසිඳුරන්ට ගෝචර වනුයේ ඇසට පෙනෙන, කනට ඇසෙන, නාසයට විඳිය හැකි, දිවට රස විඳිය හැකි සහ ගතට ස්පර්ශ කළ හැකි වන දෑ ය. එනම් වාස්තවික ව, උපකරණයකින්, පුද්ගලබද්ධ බලපෑමෙන් තොර ව, මැන බැලිය හැකි කරුණු පමණි. මේ නිර්ණායකය අනුව සංකල්පයක් මිනුමට බඳුන් කළ නො හැකි ය. එහෙත් දර්ශක මිනුමට බඳුන් කළ හැකි ය.
6. සංකල්ප වෙනුවට, දර්ශක පර්යේෂණයට සහ මිනුමට බඳුන් කිරීම පිළිබඳ ව තවදුරටත් තේරුම් ගැනීම සඳහා, පර්යේෂණයට තෝරා ගත් පවුලක සාමාජිකයකුගෙන් අසන්නට පුඵවන් පහත සදහන් ප්‍රශ්න දෙක ගැන සිතන්න.
ඔබේ පවුලේ සාමාජිකයන් ගණන කොපමණ ද?
ඔබේ පවුලේ සාමාජිකයන් දුප්පත්කමින් පෙළෙනවා ද?    ඔව් .......... නැත.............

මෙයින් පළමු වන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර නිශ්චිත ය. දර්ශකයක් පදනම් කර ගෙන ප්‍රශ්නය අසා ඇති නිසා ය. පවුලේ සාමාජිකයකු එම ප්‍රශ්නයට වැරදි පිළිතුරක් දුන හොත්, එම පවුල වසන ගමේ ග්‍රාමසේවක හෝ අසල්වැසියකුගෙන් කරුණු ගෙන,  වැරැද්ද නිවැරදි කර ගත හැකි ය.  එහෙත් දෙ වන ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ලබා දුන්නේ 'දුප්පත්කම' යන සංකල්පය සහිත පදය කෙසේ අර්ථනිරූපණය කර දැයි තේරුම් ගන්නට නුපුඵවන. ඒ අනුව දුම්රියේ සිඟා කන, දුප්පත් යයි අපට පෙපෙන මිනිසා, උදේ ද සවස ද සිඟමන නැමැති රැකියාවට ඇරලවන්නේ, සහ රැකියාවෙන් පසු ආපසු රැගෙන යන්නේ සිඟන්නාට ම අයත් වාහනයක් පදවන, සිඟන්නාගෙන් ම පඩි ලබන රියදුරකු විසින් යයි  සිතමු (සත්‍ය සිද්ධියක් ඇසුරිණි). වාහන නැතිකම යන දුප්පත්කම නිසා දිනපතා සිට ගෙන දුම්රියේ යන මිනිස්සු වුවත්, තමන්ට වඩා දුප්පත් යයි සිතා, එසේ හොර රහසේ වාහනයෙන් පැමිණ සිඟා කන පෝසතාට, මුදල් පරිත්‍යාග කරති. මේ අනුව දුප්පත්කම යන සංකල්පය නිශ්චිත ව මැන බැලිය නො හැකි පදයක් නිසා පර්යේෂණවල දී මිනුමට බඳුන් කිරීම අපහසු ය. එනිසා ම සංකල්පය, දර්ශක දක්වා සුවිශේෂ කර ගැනීම පර්යේෂක සතු අත්‍යවශ්‍ය භූමිකාවක් වේ.  

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (46) කෘතියක මුල මැද අග අඟවන සංකල්ප සහ ලෝකය

John D. Couch ( ඇපල් සමාගමේ අධ්‍යාපනය පිළිබඳ පළමු වන උප සභාපති), Jason Towne සමග ලියූ Rewiring education: How technology can unlock every student's potential (අධ්‍යාපනයට නව විදුලි රැහැන් ඇදීම: තාක්ෂණයට සෑම ශිෂ්‍යයකුගේ ම ශක්‍යතාව මුදාලිය හැක්කේ කෙසේ ද) යන කෘතියේ 'හැඳින්වීම' යන පළමු පරිච්ඡේදය ආරම්භයේ උපුටා දක්වා ඇති ලියවැල් අලංකරණයක් (Vignette) මෙසේ ය.

සෑම පාසලක ම හුදෙක් එක පරිගණකයක් තිබුණේ නම් සමහර දරුවන් එය සොයා ගනු ඇතැයි මම සිතුවෙමි. එය ඔවුන්ගේ ජීවිතය වෙනස් කරනු ඇත. -- ස්ටීව් ජොබ්ස්
අනතුරු ව පළමු පරිච්ඡේදයෙහි ඇති පළමු වන ඡේදය මෙසේ ය.
"1950
දශකයේ මා ලොකුමහත් වන විට, පාසල් විෂයමාලාව මුඵමනින් ම නාභිගත ව තිබුණේ කටපාඩම් කර ගැනීම කෙරෙහි ය. අප කළ කාර්ය, අදාළ හෝ නිර්මාණාත්මක හෝ සහයෝගි හෝ අභියෝගාත්මක නො වූ අතර, කෙටිකාලීන ව මතක් කර ගැනීමට වඩා මඳක් වැඩි ඉලක්කයක් සඳහා අවශ්‍ය වූ තොරතුරු පරිභෝජනයක් පමණක් සිදු විය. ඉගෙන ගත යුතු වූ දේවල් කඵ හො සුදු විය (හෙවත් හොඳ හෝ නරක විය). එක්කෝ අපි කරුණු කටපාඩම් කර ගත්තෙමු; නැත හොත් කටපාඩම් කර නොගත්තෙමු. තොරතෝංචියක් නැති ව, නිරන්තර ව ලබා දුන් සම්මත පරීක්ෂණවලින්, අප ව විනිශ්චය කෙරිණි; අපට ලේබල් ඇලවිණි; අප ව තේරිණි සහ අපේ අනාගතය අනාවැකි කෙරිණි. මේ ක්‍රියාවලිය අනුව අප කෙතරම් අන් අයගේ සිත් ගන්නා ස්මාර්ට් අය වේ ද? යනු ද තේරුම් ගත්තෙමු. "
පරිච්ඡේද 15න් සමන්විත කෘතියේ මැද 8 වන පරිච්ඡේදය ඇරඹෙනුයේ පහත ලියවැල් අලංකරණයෙනි.
මා කවදාවත් මගේ ශිෂ්‍යයන්ට උගැන්වූයේ නැත.
මම ඔවුන්ට ඉගෙන ගත හැකි වටපිටාව සැපයීමට පමණක් උත්සාහ කළෙමි.
--
ඇල්බර්ට් අයින්ස්ටයින්
ජෝන් ඩුවි ඉදිරිපත් කළ ව්‍යාපෘති පාදක ඉගෙනුම (Project-based learning) වෙනුවට, අභියෝග පාදක ඉගෙනුම Challenge-based learning) සංවර්ධනය වූ අයුරු 8 වන පරිච්ඡේදයේ විග්‍රහ වන්නේ ය.
දැන් අවසන් පරිච්ඡේදයේ අවසන් ඡේදය බලමු.
"
නිදහසේ ලබා ගත හැකි අන්තර්ජාල සම්පත් වන Change. org වැනි පෙත්සම් වෙබ් අඩවි හා Twitter සහ Facebook යන සමාජ මාධ්‍ය වේදිකා භාවිතයෙන්, තනි පුද්ගලයකු ලෙස ඔබට, රාජ්‍ය මට්ටමින් ද පළාත් මට්ටමින් ද ප්‍රදේශීය මට්ටමින් ද පාසල් මට්ටමින් ද සැබෑ වෙනසක් ඇරඹුමට බලය ඇත. අන්තර්ජාලය සහ සමාජ ජාල පුපුරා යාම නිසා, මෙතෙක් 'සාමාන්‍ය හෝ නොවැදගත්' ලෙස සැලකුණු පුද්ගලයන්, ඉතිහාසයේ කවදාවත් වූවාට වඩා, ක්‍රමානුකූල ලෙස බල ගන්වා ඇත. ඒ සදහා හුදෙක් කළ යුතු වනුයේ තනි මාපියකු, ගුරුවරයකු, ක්‍රියාකාරිකයකු ලෙස අන්තර් ජාලයේ පෙත්සමක් පළ කිරීම හෝ ට්වීට්, මුහුණු පොත්, ඉන්ස්ටර්ග්‍රැමි මගින් අදහසක් පළ කිරීම ය. එමගින් සිද්ධි දාමයක් ඇරඹීමට ඔබට ශක්‍යතාව ඇති අතර, සිද්ධිදාමයේ ප්‍රතිඵලයක් ලෙස පරිණාමන වෙනසකට ද මග පෑදෙනු ඇත. එහෙත් එය ඇරඹෙනුයේ ඔබගෙනි. මහත්මා ගාන්ධි පැවසු පරිදි "ලෝකයේ ඔබ දකින්නට කැමති වෙනස පළමු ව ඔබගෙන් නිරූපණය කරන්න". අධ්‍යාපනය නව ශෛලියකින් ගෙත්තම් කිරීම සඳහා වන වර්ධනය වන ව්‍යාපාරයේ පාර්ශ්වකරුවකු වන්නැයි ඔබ ව පොලඹවමි. සංවාදයට සහභාගි වන්න. ඔබ දකින්නට කැමති වෙනස ඔබෙන් නිරූපණය කරන්න."




අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (45) ඔටුවා



අබුඩාබි ගුවන්තොටුපළෙහි, ඩියුටි ෆ්‍රී අංශය පසු කර, මගී පර්යන්ත වෙත පිවිසෙන්නට ඇති හන්දියට පිවිසෙන විට, ඔටුවකුගේ පිළිමයක් ඉදි කර ඇති බව දක්නට ලැබේ. මගී පර්යන්ත වෙත යොමු වන සේ සිරුර තබා ගෙන සිටියත්, ඔටුවා මඳක් හිස හරවා බලා සිටින්නේ ඩියුටි ෆ්‍රී අංශය දෙස ය. මේ ඔටුවා ගැන, දෘෂ්ටි කොණ තුනකින් නිරීක්ෂණ/විග්‍රහ කරන්නට පුඵවන. ඔටුවාගේ ම දාෂ්ටිකෝණය, නිර්මාණ ශිල්පියාගේ දෘෂ්ටි කෝණය සහ ඔටුවා දකින මගීන්ගේ දෘෂ්ටිකෝණය ලෙස ය. මේ සදහා සංසිද්ධිවිද්‍යාව (Phenomenology)  සහ මානවක්‍රමවිද්‍යව (Ethnomethodology) යන පර්යේෂණ ක්‍රමවල ආභාෂය ගත හැකි ය.
ඔටුවාගේ දාෂ්ටිකෝණය- ඔටුවාට අදහස් පළ කළ නො හැකි නිසා, ඒ අදහස් ගැන දැන ගන්නට, වෙනත් අයගේ සිතුවිලි ධාරා සොයා බලන්නට සිදු වනු ඇත. උදාහරණ ලෙස ඔටුවා මෙසේ නිරූපණය කළේ මන්දැයි නිශ්චිත ව දන්නේ පිළිමයේ නිර්මාණ ශිල්පියා ය. නැත හොත් නිර්මාණ ශිල්පි කණ්ඩායම ය. ඒ නිසා ඔවුන් හා සම්මුඛ සාකච්ඡා පැවැත්වීම අවශ්‍ය වේ.
ඔටුවා දකින මගීන්ගේ දෘෂ්ටිකෝණය- සමහර මගීහු ඔටුවකු සිටින බවවත් - ඔටුවා දුටු බවවත් නො සලකා ගමන් කරති. ඔවුන්ගේ අරමුණ, ස්වකීය ගමන මිස, යා යුතු තැන මිස, අතරමග හමු වන දේ -දකින දේ නො වේ.  සමහරු ඔටුවා දෙස බලමින් ද විවිධ මුහුණු ඉරියව් පළ කරමින් (හැඟීමක් ඇති නො වූ බව පළ කරන -මඳ සිනාවක් පළ කරන-මඳ කල්පනාවකට යොමු වන ලෙස ද දිගට ම ගමන් කරති. මහතුන් දෙදෙනකුගෙන් කෙනකු ඔටුවා පිට සිනහ මුහුණින් හිඳ ගත් විට අනෙක් තැනැත්තා ඡායාරූපයක් ගත් අවස්ථාවක් ද නිරීක්ෂණය කළෙමි. එවිට එසේ ඡායාරූප ගත හැකි බවට මට ද අවබෝධයක් ඇති විය.  ඔටුවා ඉදිරිපිට හෝ පසෙක සිට ගෙන අන් අය ලවා  ඡායාරූප ගත් අවස්ථා ද පැවතිණි.
ඔටුවා දකින මගේ දෘෂ්ටිකෝණය- ඔටුවාගේ මුහුණෙහි ඉරියව්වලින් පෙනෙන්නේ ශෝකාකූල බවක් දැයි නො දනිමි. රටින් පිට ව යන්නට තිබෙන මගී පර්යන්ත වෙත නො බලා රටට ඇතුඵ වන ඩියුටි ෆ්‍රී වෙළෙඳසැල් දෙස බලන්නේ, මා රට හැර දා නො යන බව කියන්නට ද? නැති නම් අතීතයේ මා ජීවත් වූ මගේ මව් රටේ ම සිටීමට මා කැමති බව කියන්නට ද? අතීතයේ ගමන් බිමන් යාමට උදව් වූ මා ගැන දැන් කවුරුත් බලන්නේ නෑ නේ ද? මට වඩා ගුවන් යානය බලවත් වෙලා නේ ද? වැනි ප්‍රශ්න ද ඔටුවාට ඇති ව ඇතැයි සිතමි.
වෙනත් රටවල කෙරෙන්නාක් මෙන්, අබුඩාබි ගුවන් තොටුපළෙහි, රටේ නායකයකුගේ පිළිමයක් ඉදි නො කළේ ඇයි යනු ද මට ඇති වූ සිතිවිල්ලකි. නායකයකුගේ පිළිරුවක් වෙනුවට, ඔටුවකුගේ පිළිමයක් නෙඵවේ මන්දැයි ඇසිය යුත්තේ ගුවන් තොටුපළ සැලසුම් කළ ශිල්පීන්ගෙනි. ඒ සඳහා අදහස රටේ නායකයාට සන්නිවේදනය කළ ආකාරයත් දැන ගැනීම වැදගත් ය. අතිවිශාල ගුවන් තොටුපළක, තම රූපය ඇතුළත්  පිළිමයක් වෙනුවට, ඔටුවකුගේ පිළිමයක් නෙළීම ගැන පාලකයාට ඇති වූ හැඟීම් ගැන  නම් විමසිය යුත්තේ එවකට සිටි පාලකයාගෙන් ම ය. සමහර විට පාලකයන් වෙනුවට, ඔටුවන් කළ සේවය වැඩි නිසා මේ තීරණය ගත්තා වන්නටත් පුඵවන.  

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (44) අබුඩාබි ගුවන් තොටුපළ පිළිබඳ නිරීක්ෂණ, ප්‍රත්‍යවේක්ෂණ සහ ඉදිරි පර්යේෂණ සඳහා ප්‍රශ්න



2018 මාර්තු 18 වන දින, කොළඹ කටුනායක ගුවන් තොටුපළෙහි සිට කැනඩාවේ ටොරොන්ටෝ ගුවන් තොටුපොළ වෙත යන ගමනේ අතරමැදි නවාතැන වූයේ අබුඩාබි ගුවන් තොටුපළයි. ගුවන් යානාවෙන් බැස, තොටුපළෙහි පිහිටි ටොරොන්ටෝ දක්වා යන ගුවන් යානය පිහිටි පර්යන්තයට යන්නට පටන් ගතිමි. ගුවන් යානාවෙන් එළියට පැමිණ කොරිඩෝව දිගේ යන්නට ඇරඹි වහා ම වම්පස බිත්තියේ සුදු පැහැති කොටුවක දක්නට ලැබුණේ  "අබුඩාබියට සාදරයෙන් පිළිගනිමු" යන වාක්‍යය අරාබි සහ ඉංග්‍රිසි භාෂාවලිනි  (1 වන රූපය).  මේ වැකි දෙක සමඟ, ඔටුවන් දෙදෙනකු මගීන් යන දෙසට ම ගමන් ගන්නා අයුරු ද චිත්‍ර ලෙස කුඩාවට ඇඳ තිබුණි. මිනිසකු නැඟ සිටියේ මුලින් ම යන ඔටුවා පිටෙහි පමණී. අනෙක් ඔටුවා පිටෙහි මිනිසකු සිටින අයුරු නිරූපණය නො කළේ මන්දැයි නො දනිමි.  ඔටුවන් දෙදෙනා ගමන් කරන පාර, උඩට විහිදුණු කඩ ඉරකින් වෙන් ව බාධකයක් සහිත ව  ඇන්ඳේ ඇයි දැයි යනු ද නො දනිමි. ගමන දුෂ්කර බව අඟවන්නට විය හැකි ය  මේ කරුණු  ගැන නිශ්චිත ව දැන ගන්නට නම් චිත්‍ර ශිල්පියා සමඟ සම්මුඛ සාකච්ඡා කළ යුතු ව තිබේ.
2 වන රූපයේ සිටිනුයේ අබුඩාබි පාලකයා හෝ රජු විය හැකි ය. ඒ සමඟ ම ඇති 3 වන චිත්‍රයේ පිරිමින්  10 දෙනකු යාඥා කරන අයුරු දැක්වේ. ඒ රූපයෙන් මට මතු වූ ගැටලුවක් වනුයේ  මුලින් ම සිටින පුද්ගලයා අන් අය මෙන් ඔඵව වසා ගෙන නොසිටින්නේ ඇයි? යන්නයි.  කාන්තාවන් දක්නට නැත්තේ අරාබි සංස්කෘතිය අනුව විය හැකි යයි අනුමාන කරමි.  තෙ වන රූපයේ සිටින පිරිමින් දෙදෙනා, කූඩාරමක බිම වාඩි වී, කොළවල ලියන්නේ කුමක් දැයි යන්න ද අපැහැදිලි ය.
4 වන රූපයේ ද සිටින දෙදෙනා සාකච්ඡාවක නිරත වෙයි.  ඉඳි ගස් දෙකක් ද පාරක් අඟවන රේඛාවක් ද එහි දක්නට ලැබේ. මේ රූපයෙන් මතු වන ගැටලුවක් වනුයේ පිරිමි දෙදෙනාගෙන් කෙනකු සුදු තලප්පාවක් පැළඳ සිටින අතර අනෙකා කොටු කොටු සහිත තලප්පාවක් පැළඳ සිටින්නේ ඇයි ද යනු ය. ඒ ගැන ද මා පෙර මතු කළ සහ ඉදිරියට මතු කරන ගැටලු ගැන ද නිශ්චිත වූ නිවැරදි  දත්ත ලබා ගන්නට නම් චිත්‍ර ශිල්පියා සමඟ සම්මුඛ සාකච්ඡා කළ යුතු ව තිබේ. නැති නම් අබුඩාබිය ගැන දන්නා  වියතකුගෙන් විමසිය යුතු ව තිබේ.
ඊළඟට මේ රූප හතර ම සහිත වීඩියෝ පටයක් ඔබට පෙන්වන්නට කැමැත්තෙමි.
කුඩා ළමයකු සමඟ සංගීත බාණ්ඩයක් වාදනය කරන වැඩිහිටියකු සහ තවත් වැඩිහිටියන් සිටින චිත්‍රයක් ද (5 වන රූපය) රාජාලියකු දෙස බලන අරාබි ජාතිකයන් හතර දෙනකුගේ චිත්‍රයක් ද (6 වන රූපය) ඊළඟට දිස්වේ.  කාන්තාර පොළොව දෙස බලමින් එය මත යමක් අඳින අරාබි ජාතිකයකු   ද  විශාල ප්‍රමාණයේ රාජාලියකු සමඟ සිනහ සෙමින් අන්තර්ක්‍රියා කරන අප මුලින් ම දුටු ඡායාරූපයේ සිටි අරාබි ජාතිකයා (හෙවත් රටේ නායකයා විය හැකි ය)  ද ඊළඟ රූප දෙකෙහි දක්නට ලැබේ (7-8වන රූප) .
අනතුරු ව දක්නට ඇති පහන සහ  "A NATION WITHOUT A PAST  IS A NATION WITHOUT  A PRESENT OR FUTURE" (අතීතයක් රහිත ජාතියක්, වර්තමානයක් හෝ අනාගතයක් රහිත ජාතියකි) යන අරාබි සහ ඉංග්‍රිසි බස්වලින් දැක්වෙන වාක්‍යයෙන් මෙතෙක් නිරූපණය කළ ඡායාරූපවලින් කියන්නට අදහස් කළ දේ ගැන ඉඟියක් මට මතු විය. ඒ මෙසේ ය.
"අතීතයේ රට ඉඳි, ඔටුවන්, රාජාලියන් සමඟ ජීවත් වූ අප සැලසුම්  කරනුයේ අනාගතය ගොඩ නඟා ගන්නට ය. අපි අද දියුණු වුවත්, අතීතයේ අපට උදව් උපකාර කළ ඔටුවන්, රාජාලියන් සහ රට ඉඳි ගස් අමතක නොකරමු."
එහෙත් මේ සැබෑ අර්ථය දැයි දැන ගැනීමට තවදුරටත් කරුණු සොයා බැලිය යුතු ය; දත්ත රැස් කළ යුතු ය.
මේ පළල් දෘෂ්ටියෙන් අබුඩාබියෙහි ගොඩ නැගූ නවීන රටා සහිත රූප හතරක් ඊළගට නරඹන්නට ලැබේ. ඒ රූපවලට ගෝල්ෆ් පිටියක් ද ජල ක්‍රීඩා කළ හැකි තටාකයක් ද දක්නට ලැබේ. අබුඩාබියට උරුම කාන්තාරය පාදක කර ගෙන සංවර්ධනය කරන ලද සවාරියක් ද ඒ අතර වේ. මේ දක්වා කාන්තා රුවක් නොපෙන්වුවත්, මේ රූප අතර බටහිර පන්නයට හුරු කාන්තාවන් දෙදෙනකු සංවර ලෙස ජල ක්‍රිඩාවේ නිරත වන අයුරු නරඹන්නට ලැබේ. අරාබි ජාතික කතක් තව ම නො පෙන්වා, බටහිර පන්නයේ කතුන් පළමු ව පෙන්වීමේ අරුත කුමක් ද?
ගමන් කරන කොරිඩෝවෙහි හැරෙන තැනකට පෙර, නැවතත් ඇති "අබුඩාබි වෙත සාදරයෙන් පිළිගනිමු" යන ප්‍රකාශය සහිත පුවරුවට පසු, නව කොරිඩෝවෙහි ඇත්තේ පල්ලියක රූපයකි. මේ අනුව පැහැදිලි වූයේ මුලින් ම ආගම පෙන්වනු වෙනුවට, රට ගැන කියා ආගම දෙවනු ව පෙන්වා ඇති බවයි. ආගමින්  අනවශ්‍ය ලෙස විවිධ ක්‍රියාකාරකම්වලට වැට බැඳි රටක් නො වන බවක් මින් ඇඟවේ  ද?
අනතුරු ව බලකොටුවක රූපයක් දක්නට ඇති අතර, ප්‍රථම වරට අරාබි ඇඳුමින් සැරසුණු කාන්තාවන් සහ සාමාන්‍ය ඇඳුමින් සැරසුණු කාන්තාවන් ද ගැවසෙන විශාල වෙළෙඳ සැලක ඡායාරුවක් දක්නට ලැබේ.