Saturday 4 August 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (62) පර්යේෂණ ආකෘතියට මුසු වන නිර්මාණාත්මක බව


පර්යේෂණ ක්‍රමවල සංවර්ධනය විග්‍රහ කරන විට පැහැදිලි වනුයේ, පර්යේෂණ අරමුණු සාධනය කර ගැනීමේ ලා වන පර්යේෂණ ආකෘති විවිධාකාර ව සංවර්ධනය ව ඇති බවයි. මෙය ගී පදවල සංයුතිය සහ සංගීත නිර්මාණය අතර පවතින නිර්මාණාත්මක තුලනය හෝ නිර්මාණාත්මක ප්‍රතිවිරෝධිතාවට සම්බන්ධ කර විග්‍රහ කළ හැකි ය. මේ සඳහා ගීත හතරක් පදනම් කර ගන්නටත් ලිපි දෙකක් ලියන්නටත් කැමැත්තෙමි.

(1)          ආදරියේ රුචිරාණනියේ
Avishka Madushanka Bulathsinhalage ස්වකීය "මතකයේ රැදුණු අමරණීය ගී" යටතේ පළ කළ මොහිදීන් බෙග් ගයන ගීතය පළමු ව ශ්‍රවණය කරමු.  'කොපමණ ඇසුවත් ඇති නො වන' මේ ගීතයේ පදමාලාව මෙසේ ය.
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැළපෙනවා මා අද හිර ගේ//
ආදරියේ රුචිරාණනියේ

මගෙ ආදරියේ සුව නින්දේ
රස සිහින වැලේ එතිලා
හමනා සුළඟ ද මේ එන්නේ
කවද ද ඇයගේ මුව කමලේ
ඔද වැඩෙන සිනා රසයේ
ගිලිලා යළි මා සැනසෙන්නේ

ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැළපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ

හා හා ඇයි මේ සතුරු මැල මැද
කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ
නෑ නෑ ළත වෙන්නේ
බල පා තෙද පා දැඩි එඩි පා
මේ යදම් කඩා පුපුරා යන සේ
කකියා ඇයි රුහිරේ

ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැළපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ
(ගී පද - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ; සංගීතය - සජාඩ් හුසේන්; ගායනය - මොහිදීන් බෙග්)

ගීතයක සාමාන්‍ය ආකෘතිය අනුව, ගීතයේ ආරම්භය ලෙස ගායනා වී, ගීතය අවසන් වන විට තුන් වරක් ගැයෙන ස්ථායි කොටසක් වේ.  ස්ථායි කොටසට පසු ගැයුම ඇරඹෙන එසේ ම දෙවරක් ගැයෙන අන්තරා කොටසක් ද වේ. චන්ද්‍රරත්න මානවසිංහ ලියූ පදමාලාවේ මේ රටාව දක්නට ලැබේ. එහෙත් එකී ගීතයේ  "ආදරියේ රුචිරාණනියේ - ලියලනවා තව තව ශෝකේ - වැළපෙනවා මා අද හිර ගේ"  යන ස්ථායි කොටස දෙවරක් ගැයූ පසු, එහි ඇති "ආදරියේ රුචිරාණනියේ" යන පේළිය නැවත ගැයීම, එක්කෝ ගීත රචකගේ ම නිර්මාණාත්මක අදහසක් විය හැකි ය. නැති නම් ගීත තනුවේ සහ සංගීත සංයෝජනයේ අවශ්‍යතාව අනුව, සංගීත රචක සජාඩ් හුසේන් පදමාලාවට බද්ධ කළ නව නිර්මාණාත්මක අදහසක් ද විය හැකි ය.
පර්යේෂණ වාර්තාවක හෝ ලිපියක ද නිශ්චිත ආකෘතියක් සහ පරිච්ඡේද ඇති බව අපි දනිමු. ඒවා පර්යේෂණයේ අවශ්‍යතා අනුව සකස් කර ගැනීමේ නිර්මාණාත්මක නිදහස පර්යේෂකට තිබේ. විවිධ පර්යේෂණ සගරාවල පළ ව ඇති විවිධ ආකෘතික ලක්ෂණ සහිත ලිපි අධ්‍යයනයෙන් මේ බව වටහා ගත හැකි ය. 
ගීතයේ ආරම්භක අවස්ථාවේ  "ආදරියේ" යන පදයේ  "" යන අකුර සංගීතාත්මක ව ගයන රිද්මය ගැන ඔබට සිතෙන්නේ මොනවා ද? එය නම් සංගීත රචක සජාඩ් හුසේන් ගේ නිර්මාණාත්මක අදහසක් බව නිශ්චිත ය. "ලියලනවා තව තව ශෝකේ" යන පද හතරට එකතු ව ඇති ස්වර රටාවල වෙනස්කම්, ඒ පද තුනින් මතු කරන අර්ථයට ගැළපෙන ආකාරයත් අධ්‍යයනය කරන්න.
පළමු වන අන්තරා කොටසේ "රසයේ" සහ "සැනසෙන්නේ" යන පද, ඒ පද යෙදෙන ස්ථානය අනුව තනුවෙන් හැඩ වැඩ කර ගයා ඇති සැටි, රස විඳින අතර ම නිරීක්ෂණය ද කරන්න.  
ගීතයේ විවිධ ස්ථානවල සදහන් "ශෝකේ"  "රසයේ" "සැනසෙන්නේ" "රුහිරේ" යන පදවල අවසන් අකුර ගයන විට භාවිත කර ඇති රිද්මය ද සංගීතඥගෙන් ගී පදවලට ලැබුණු නව අර්ථයකි.
"හා හා ඇයි මේ සතුරු මැල මැද - කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ - නෑ නෑ ළත වෙන්නේ" යන ගී පේළි තුනෙහි ඇති "හා හා" සහ "නෑ නෑ"  යන පුනරුක්තය නම් පද රචකගේ ම අදහසක් සේ දක්නට ලැබේ. ස්ථායි කොටසේ ද (ලියලනවා තව තව ශෝකේ) මේ ලෙස යෙදෙන පුනරුත් පදයක් වේ. මේ අන්තරා කොටසට සංගීතඥ මුසු කොට ඇති උච්ච ස්වර ද නිරීක්ෂණය කරන්න. ස්ථායි කොටස දෙවන වර ගයා, දෙ වන අන්තරා කොටසට ගීතය ගමන් කරන විට, ගීතයේ අදහස තීව්‍ර කිරීම සදහා, එසේ ස්වර රටාව උච්ච ස්වරයෙන් ගැයීමත් ගීත කලාවේ එක් රටාවකි.
ගායක බෙග් ගීතයට ලබා දී ඇති නිර්මාණාත්මක දායකත්වය, ඔහුගේ සිංහල භාෂා උච්චාරණ දෝෂ නිසා මඳක් අඩු වුව ද, පසු කාලයේ "කසුන් කල්හාර" යන "දක්ෂ ගායකයා" මේ ගීතය ම කිසියම් වැඩසටහනක් සදහා ගයන ඉතා ම ඉතා දුර්වල ස්වභාවය අනුව නම් (අන්තර්ජාලයෙන් එය බලන්නට හැකි ය), බෙග් සතු ගායන ශෛලිය සහිත විශිෂ්ට ගායකයකු නම් කවදාවත් පහළ නො වනු ඇතැයි හැඟෙයි. පර්යේෂණවල දී ප්‍රතිකෘතකරණය නම් සංකල්පයක් ඇත. පෙර කරන ලද පර්යේෂණයක්, එය කළ ක්‍රමවේදය අනුව ම එහෙත් වෙනත් සන්දර්භයක, එම සන්දර්භයේ ලක්ෂණ පදනම් කර ගෙන නැවත පර්යේෂණය කිරීම ප්‍රතිකෘතකරණයේ අරමුණයි. බටහිර රටවල මෙන් ම ඉන්දියාවේ ද අන් අය සතු ගීත වෙනත් විවිධ අය/නව පරම්පරාවේ නව ගායකයන් ගායනා කරන අතර එමගින් ලබා දෙන නව අර්ථකථන ද බෙහෙවින් ආකර්ශණීය ය. එහෙත් ශ්‍රි ලංකාවට මේ සම්ප්‍රදාය තවමත් හුරු පුරුදු ව නැත්තා සේ ය. බොහෝ විට දක්නට ලැබෙන්නේ අනුකරණයට-කොපි කරන්නට දක්වන උත්සාහ ය.
මේ සියලු කාරණාවලින් මා මතු කරන්නට උත්සාහ කළ තව අදහසක් වන්නේ පර්යේෂණයක් කරන විට, පර්යේෂකගේ "හදවත" සේ සැලකෙන "දත්ත" හැසිරවීමත් නිර්මාණාත්මක විය යුතු බව ය. පර්යේෂණයට අවශ්‍ය දත්ත එකතු කළ පමණින් හෝ ඒවා යාන්ත්‍රික ව දත්ත විශ්ලේෂණය කිරීමේ SPSS පැකේජයකින් විශ්ලේෂණය කළ පමණින්, පර්යේෂකගේ භූමිකාව සම්පූර්ණ නො වන්නේ ය. දත්ත සමූහය දෙස සමස්ත අයුරින් ද ඒ ඒ දත්තය දෙස සුවිශේෂ ව ද නිරීක්ෂණය කර, දත්තවලින් මතු වන  රටා හඳුනා ගන්නටත් අර්ථනිරූපණය කරන්නටත් පර්යේෂක පුරුදු පුහුණු විය යුතු ය.
පර්යේෂණයක දී පර්යේෂක සතු සුවිශේෂී කාර්යයක් වනුයේ දත්ත අර්ථනිරූණය කිරීමයි. මේ අර්ථනිරූපණ භූමිකාව, ගීතයක සංගීත නිර්මාපකගේ භූමිකාවට සමාන ය. පද රචක නො සිතන මානවලින්, සංගීත නිර්මාපක තනු නිර්මාණයෙන් සහ සංගීතය මුසු කිරීමෙන් ගීතයට නව පණ ගන්වන්නා සේ, පර්යේෂණ දත්ත, පර්යේෂණ අරමුණුවලට අදාළ ව නිර්මාණාත්මක ව අරුත් ගැන්වීම, පර්යේෂක සතු පර්යේෂණ භූමිකාවේ පාර්ශ්වයක් වන්නේ ය.
ගීතයක් ශ්‍රවණය කර නිම වන විට මනසට දැනෙන නව ආලෝකය සහ පිබිදීමට සමාන අදහස්, පර්යේෂණ වාර්තාවක් කියවා අවසන් වන විට ද, පර්යේෂණයෙන් ලැබෙන නව දැනුම නිසා ලැබිය යුතු ය. 
            "මතකයේ රැදුණු අමරණීය ගී" යන ස්වකීය ගී පිටුවෙන් මේ ගීය ඉදිරිපත් කර, මේ අදහස් ලියන්නට මා සිත අවදි කළ Avishka Madushanka Bulathsinhalage මහතාණන්ට නැවතත් මගේ ස්තුතිය පළ කරමි.
  

No comments:

Post a Comment