Saturday 4 August 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (62) පර්යේෂණ ආකෘතියට මුසු වන නිර්මාණාත්මක බව (2 වන ලිපිය).


දෙවනු ව ලියන ලිපිය සඳහා  ගීත තුනක් භාවිත කරමි. ගීත තුනේ ම නිමිත්ත ඇස් ය. එනිසා ගීත තුනේ දී පිළිවෙළින් "(ඇස් පිය - දෑස් - ඇසි පිය) - (නෙතු සඟලින් - දෑස) – (දෑස -දෙනෙතින්)" යන ඇස්වලට සම්බන්ධ පද, අනෙකුත් පදවලට සාපේක්ෂ ව භාවිත වී ඇති අයුරුත් ඒ පද ගැයෙන රිද්මයත් ගැයුම් රිද්මයට පදනම සපයන තනුව සහ සංගීතයේ භාවිතයත් ගැන, "නිර්මාණාත්මක බව" යන නිර්ණායකය පදනමින් අවධානය යොමු කරන්න. ඊට අමතර ව ගීත තුනේ රූපරාමුවල දී ගායක-ගායිකාවන් සහ රූපරාමුවලට පෙනී සිටින නඵනිළියන් ඇස් හසුරුවා ඇති ආකාරයත් නිරීක්ෂණය කරන්න. පර්යේෂකයකු සංවර්ධනය කර ගත යුතු නිපුණතාවක් වනුයේ නිරීක්ෂණයයි. ඒ සඳහා වන ක්‍රියාකාරකමක් සේ ද මෙය සැලකිය හැකි ය.

ඔබ ඇස් පිය නො හෙළා බැලුවා
මීට පෙර ලිපියේ ඉදිරිපත් කළ මොහිදීන් බෙග් ගැයූ ගීතයේ මෙන් නො ව, ස්ථායි සහ අන්තරා කොටස් වෙනස් වූත් නිර්මාණාත්මක වූත් විධියකට පෙළ ගැසුණු ගීතයක් පළමු ව ශ්‍රවණය කරමු. ගීතයක් රස විඳින විට, සාම්ප්‍රදායික ස්ථායි සහ අන්තරා පිළිවෙළ සහිත ආකෘතියෙන් තොර ගීත ද, කිසි දු කරදරයකින් තොර ව මනසට ළං කර ගෙන රස විඳීමේ හැකියාව ලැබේ.  උදාහරණයක් ලෙස ශෂිකා නිසංසලා ගයන "ඔබ ඇස් පිය නො හෙළා බැලුවා" යන ගීතයේ පද මාලාවේ පෙළ ගැස්ම හෙවත් ආකෘතිය, සාම්ප්‍රදායික ස්ථායි-අන්තරා ආකෘතියට වෙනස් ය. එනිසා ම මේ ගීතයේ ස්ථායි-අන්තරා සම්බන්ධය, මුලින් විස්තර කළ බෙග් ගැයූ ගීතයේ ස්ථායි-අන්තරා කොටස්වල සම්බන්ධයට හාත්පසින් වෙනස් ය. එහෙත් ගීතයේ රස වින්දනයට එකී නව ආකෘතියෙන් බාධාවක් නම් නැත. සමහර විට ගීතය වඩාත් ජනප්‍රිය වන්නට මේ නව ආකෘතිය, ශ්‍රාවකයාට නොදැනීම වුණත්, බලපෑවා වන්නට ද ඇත. ගීතයේ පද මෙසේ ය.

ඔබ මා හමු වුණ දා දෑත් දරා ‍
පෙර භවයක බැඳුණා මෙන් දැනුණා
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා //   (ගැයෙන පද = 21)

ඔබ ඇස් පිය නො හෙළා බැලුවා /// මගෙ දෑස් දිහා
මා ඇස් පිය නො හෙළා බැලුවා /// ඔබෙ දෑස් දිහා (ගැයෙන පද = 42)

සන්සුන් සිතින් සිතමී - මුඵ රෑ පුරා
දැනෙනා හැඟුම් විඳිමී - සිතිමී සරා
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ
පවසන්න ළං වෙලා - මේ තරම් ආදරේ කොහෙන් දෝ කියා (ගැයෙන පද = 26)

ඔබ ඇස් පිය නො හෙළා බැලුවා /// මගෙ දෑස් දිහා
මා ඇස් පිය නො හෙළා බැලුවා /// ඔබෙ දෑස් දිහා (ගැයෙන පද = 42)

සිත් මල් දෙකක් ළං වී - සිතැඟී පුරා
කොඳුරා  වදන් රැඳෙමී සනහා නුරා
සඳ දිය පිරී - ඇසි පිය හැරේ
පවසන්න ළං වෙලා - මේ තරම් ආදරේ කොහෙන් දෝ කියා.  (ගැයෙන පද = 27)

ඔබ ඇස් පිය නො හෙළා බැලුවා /// මගේ දෑස් දිහා
මා ඇස් පිය නො හෙළා බැලුවා /// ඔබෙ දෑස් දිහා (ගැයෙන පද = 42)

(භාවිත පද ගණන 80; ගැයෙන මුඵ පද ගණන -  200)
(ගී පද - ෂෙහාන් ගලහිටියාව; සංගීතය - ප්‍රියන්ත නාවලගේ; ගායනය - ශෂිකා නිසංසලා)

"ඔබ ඇස් පිය නො හෙළා බැලුවා" /// "මගෙ දෑස් දිහා" යන කොටස ස්ථායි කොටස ලෙස ගත්ත ද එය ගීතයේ දී තෙවරක් ගැයෙන අතර, ගීතයේ දෙවරක් ගැයෙන තව පද පෙළක් ද තිබේ. "පවසන්න ළං වෙලා - මේ තරම් ආදරේ කොහෙන්දෝ" කියා යන කොටස ය. මේ අනුව ද ගීතයේ නවතාවක් දක්නට ලැබේ.
ගීතය ගයන විට 'මගේ' යන්න 'මගෙ' ලෙසත්, 'ඔබේ' යන්න 'ඔබෙ' ලෙසත් 'සිතමි' යන්න 'සිතමී' ලෙසත් 'විඳිමි' යන්න 'විදිමී' ලෙසත් උච්චාරණය කරනුයේ ගීත තනුවේ  අවශ්‍යතාව කරණ කොට ගෙන විය හැකි ය. මේ අනුව භාෂා රිද්මය, සංගීතයේ රිද්මය අනුව විකරණය කිරීමේ අවශ්‍යතාව ඇති ව තිබේ. ඒ විකරණය හේතු කොට ගෙන, ගීතයට මෙන් ම සංගීත රටාවට නම් හානියක් ව නැත. එහෙත් භාෂා භාවිතයට නම් හානියක් ව ඇත. 
මේ ආකාර හානියක් ඇති නො වන පරිදි, පද භාවිතයත් තනු-සංගීත නිර්මාණයත් ගොඩ නැගුණු ගීතයක් ද රස විඳිමු.  ඒ ඉන්ද්‍රාණී බෝගොඩ ගයන මගේ නීල නෙතු සඟලින් මොනව ද ඔබ ඉල්ලන්නේ යන ගීතයයි. එම ගීතයේ කිසිදු පදයක් විකෘති නො වී සංගීතය නිර්මාණය වී ඇති අයුරුත් ගැයෙන අයුරුත් නිරීක්ෂණය කරමු. ඒ අතර ම තනුවේ රිද්මයට උචිත පරිදි, ඒ ඒ පදවල සමහර අකුරු (උදා- නීල, නේ ද?, සඟලින්, මල්, කාන්තියෙන්, රස...) විවිධාකාරයෙන් අලංකාර සහිත ව ළෙලවමින් ගයන අයුරුත් නිරීක්ෂණය කරමු.

මගේ නීල නෙතු සඟලින් මොනව ද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය ඔබට නේ ද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්                       (ගැයෙන පද = 19)

මිඳුලේ නිල් පුනීල මල් හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන්  ඔබේ කවිය උදුරා ගෙන කියවනවා            (ගැයෙන පද = 14)

මගේ නීල නෙතු සඟලින් මොනව ද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය ඔබට නේ ද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්           (ගැයෙන පද = 19)

හඳ එළියේ හාංසි වී ඒ කවියේ රස වින්ඳා
එදා රැයේ මගේ දෑස ඔබේ නමින් ඉකි බින්ඳා     (ගැයෙන පද = 16)

මගේ නීල නෙතු සඟලින් මොනව ද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය ඔබට නේ ද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්           (ගැයෙන පද = 19)

(භාවිත පද ගණන - 45; ගැයෙන මුඵ පද ගණන - 87)
(ගී පද - ඩෝල්ටන් අල්විස්; සංගීතය - චන්ද්‍රදාස බෝගොඩ; ගායනය - ඉන්ද්‍රාණි බොගොඩ)

බෙග් ගැයූ ගීතය, කසුන් කල්හාර ගැයුවා සේ, ඉන්ද්‍රාණී බෝගොඩ ගැයූ ගීතය රශ්මි සංගීතා විසින් ගයන ලද අයුරු ද අන්තර්ජාලයෙන් නරඹන්න. ඉන්ද්‍රාණී සතු රිද්මය, එම සංගීතඥවරියගෙන් බිඳ වැටෙන අයුරු ද ගීතයට ඇවැසි විවෘත කටහඩක් ඇයගෙන් මතු නො වන අයුරු ද හඳුනා ගනිමු. ප්‍රතිකෘතකරණය යන පර්යේෂණ සංකල්පය ගැන මා පෙර ලිපියේ කියූ කරුණු ද මෙනෙහි කරන්න.
ඩෝල්ටන් අල්විස් පද ගැළපූ ඔබේ නීල දෑස දිහා යන ගීතයත් ශ්‍රවණය කරමු. එහි එක තැනක හැර භාෂා භාවිතය නිවැරදි ය. වැරදි ලෙස භාවිත ව ඇති පදය කුමක් ද?  "පව් කළ මා සංසාරේ" යන පද ගොනුවේ දී 'මා' ලෙස භාවිත කළ පදය, "සුභා තෙරණි මම පුහුදුන්" යන පද ගොනුවේ දී 'මම' වූයේ ඇයි? එහි දී 'මම' යන වැරදි භාවිතය ගැන තීරණය ගෙන ඇත්තේ ද, තනුවේ අවශ්‍යතා අනුව යයි අනුමාන කළ හැකි ය.  

ඔබේ නීල දෑස දිහා - සරාගයෙන් එදා බලා
පව් කළ මා සංසාරේ - නිරා දුකින් ගිනි ගැනිලා //
ඔබේ නීල දෑස දිහා     (ගැයෙන පද =  34)

නිවන් කැඵම් ඒ දෙනෙතින් - පවන් සැලූ බැව් නො පෙනී //
මා කළ පව් මේ දෙනෙතින් - නිමා නො වේ භව කතරේ   (ගැයෙන පද =  28)

ඔබේ නීල දෑස දිහා - සරාගයෙන් එදා බලා
පව් කළ මා සංසාරේ - නිරා දුකින් ගිනි ගැනිලා
ඔබේ නීල දෑස දිහා   (ගැයෙන පද = 19)

ඔබ දුටු සම්බුදු සමිඳුන් - දකින්න මට ඉඩ නො ම දුන් // 
සුභා තෙරණි මම පුහුදුන් // (ගැයෙන පද = 28)

ඔබේ නීල දෑස දිහා - සරාගයෙන් එදා බලා
පව් කළ මා සංසාරේ - නිරා දුකින් ගිනි ගැනිලා
ඔබේ නීල දෑස දිහා    (ගැයෙන පද = 19)

(භාවිත පද ගණන -  48; ගැයෙන පද ගණන - 128)
(ගී පද - ඩෝල්ටන් අල්විස්; සංගීතය සහ ගායනය - ටී. ෂෙල්ටන් පෙරේරා)

ගීත කලාවේ දී භාෂා භාවිතය, 'සාම්ප්‍රදායික නොවුණාට වරදක් නැත' යනුවෙන් අදහසක් තිබෙන නිසා ද ඇස්වලට සම්බන්ධ පණිවිඩය සිතට කා වැදෙන අයුරින් ගීත තුන ම නිමැවී ඇති නිසා ද මේ භාෂා භාවිතය පිළිබඳ කරුණු නො සලකා හරින්නටත් පුඵවන.  ඒ අනුව ගීත උපරිම ව රස විදින්නට ද පුඵවන.
ගීතයේ පදවල මතුපිට භාවිතය ගැන මෙතෙක් අවධාරණය කළ නිසා ගී පදවැල් ඉස්මතු කරන යටි අර්ථ තේරුම් ගන්නට වූ අවධානය මග හැරුණා යයි ද සිතේ.  චන්ද්‍රරත්න මානවසිංහ පබැඳූ ගීතයේ
"මගෙ ආදරියේ සුව නින්දේ
රස සිහින වැලේ එතිලා
හමනා සුළඟ ද මේ එන්නේ"
යන පේළි තුන ගළපා ඇති අයුරුත් ඒමගින් පළ කරන අපූරු අදහසත් කල්පනා කරන්න. 'වැලේ එතිලා' යන පද 'සිහින' සහ 'සුළග' යන පද දෙක සමග ගළපමින් රූපකාර්ථ දෙකක් ගොනු කර ඇති අපූරු නිර්මාණය බලන්න.  ෂෙහාන් ගලහිටියාව  "සඳ දිය පිරී - ඇසි පිය හැරේ" යන පද සතරින් නො කියා කියන  (සමහර විට ඔහු නොසිතූ, රස විඳින්නාට දැනෙන, අදහසක් වන්නටත් පුඵවන) අර්ථයත් ගැන සිතන්න. ඩෝල්ටන් අල්විස් ලියූ
"නළලේ කුංකුම තිලකය ඔබට නේ ද අමතන්නේ"
සහ
"මිඳුලේ නිල් පුනීල මල් හැන්දෑවේ කාන්තියෙන්
ඔබ මට දුන්  ඔබේ කවිය උදුරා ගෙන කියවනවා." යන පද කොටස් දෙකින් සන්නිවේදනය කරන අදහස්වල රසය ද සිතා බලන්න.
            පර්යේෂණවල දී නම් මෙසේ වක්‍ර භාෂාවෙන් කෙරෙන ලියැවිලි -නිර්මාණාත්මක ලියැවිලි අනුමත කරනු නො ලැබේ. පර්යේෂකයා කියන දැය, ඍජු ව ලිවීම අවශ්‍ය වේ. ගුරුවරුන්ගේ වෘත්තිය තෘප්තිය පිළිබඳ ව පර්යේෂණයක් සදහා දත්ත රැස් කරන විට, ගුරුවරයකු 'මට දැන් කොල පුරවලා එපා වෙලා' යනුවෙන් අදහසක් පළ කරන විට, එම වාක්‍යය ගුණාත්මක දත්තයක් සේ උපුටා ගත හැකි වුව ද 'කොල යනු කුමන කොල ද?', 'එපා වෙලා යනුවෙන් අදහස් වන්නේ කුමක් ද? '  'එපා වීමට හේතු මොනවා ද?' 'කොළ පුරවන්න ගත වන කාලය කොපමණ ද? ' යනු පිළිබඳ විස්තර ද ලිවීමත් ඒ අනුව 'කොල පිරවීම' 'එපා වීම' යන අදහස්  නිර්වචනය වෙමින් තහවුරු කිරීමත් අවශ්‍ය වේ.
ගීතයක්, රස විඳින්නාට උචිත පරිදි රස විඳිය හැකි වුවත් පර්යේෂණයක් ඒ ඒ කියවන්නාට අදාළ පරිදි අර්ථනිරූපණය වන්නේ නම්, පර්යේෂණ වාර්තාවේ දෝෂයක් පවතින්නේ ය. පර්යේෂක, පර්යේෂණය කියවන්නාට, ස්වකීය පණිවිඩය හෙවත් ස්වකීය පර්යේෂණ අනාවරණ නිශ්චිත ව ලබා දීය යුතු ය. ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ ඒකකය වෙනුවෙන්,  'ගම්බඳ පාසල්වලට සම්පත් ගලා යාම' පිළිබඳ පර්යේෂණය කරන විට, කොළඹ විශ්වවිද්‍යාලයයේ  ආචාර්ය ජයම්පති වනසිංහ දුන් උපදෙසක් තවම මතකයේ තිබේ. Don't expect the reader to interpret your data in tables. As the researcher, you have to interpret the data in tables for the reader.  වගුවල ඇති දත්ත, පර්යේෂණය කියවන්නා විසින් අර්ථනිරූපණය කරතැයි අපේක්ෂා නො කරන්න.  පර්යේෂක ලෙස ඔබ කියවන්නා සදහා දත්ත අර්ථනිරූපණය කර දිය යුතු ය. 
බෙග් ගැයූ ගීතය ගැන කළ විග්‍රහයේ දී ලියූ පහත ඡේදය නැවත උපුටමි.
පර්යේෂණයක දී පර්යේෂක සතු සුවිශේෂී කාර්යයක් වනුයේ දත්ත අර්ථනිරූණය කිරීමයි. මේ අර්ථනිරූපණ භූමිකාව, ගීතයක සංගීත නිර්මාපකගේ භූමිකාවට සමාන ය. පද රචක නො සිතන මානවලින්, සංගීත නිර්මාපක තනු නිර්මාණයෙන් සහ සංගීතය මුසු කිරීමෙන් ගීතයට නව පණ ගන්වන්නා සේ, පර්යේෂණ දත්ත, පර්යේෂණ අරමුණුවලට අදාළ ව නිර්මාණාත්මක ව අරුත් ගැන්වීම, පර්යේෂක සතු පර්යේෂණ භූමිකාවේ පාර්ශ්වයක් වන්නේ ය.
උක්ත ඡේදය අනුව, ගීත තුනේ ඇති පද ගණන (පිළිවෙළින් 80-45-48) සංගීත නිර්මාණයේ දී පිළිවෙළින් (200-87-128) දක්වා වැඩි වී ඇති ආකාරය ද අධ්‍යයනය කරන්න. මේ අනුව පර්යේෂණයක දී ද රැස් වන දත්ත අර්ථනිරූපණයේ දී වැඩි අදහස් සමූහයක් භාවිත කරන්නට වන බව පැහැදිලි ය. 
ගීතයක්, පද මූලික ව මෙසේ විග්‍රහ කරන්නා සේ, සංගීතය මූලික ව ද විශ්ලේෂණය කළ හැකි ය. විවිධ සංගීත භාණ්ඩවල භාවිතයත්, ඒ සදහා පදනම් වන තනුවේ හින්දුස්තානී රාගධාරි සංගීත හෝ බටහිර සංගීත (සමහර විට ඈත පෙරදිග සංගීත රටාවේ) පදනම් ලක්ෂණත් සුවිශේෂී ව විග්‍රහ කළ හැකි ය. සරල උදාහරණයක් ලෙස මේ ගීත තුනේ දී බටනළාව භාවිත වී ඇති අයුරු සහ වැයෙන ස්ථාන ගැන පමණක් පළමු ව අවධානය යොමු කරන්න. සංකීර්ණ ලෙස බැලුව හොත් ගීත තුනේ ම සංධ්වනි ලක්ෂණ මිශ්‍ර වී ඇති රටා මොනවා ද?  
රූපවාහිනී මාධ්‍යය කරලියට පැමිණ ඇති යුගයක අප සිටින නිසා, ගීතයට අනුව රූප රාමු ගළපා ඇති ආකාරය ගැනත් පර්යේෂණ ඇසින් බැලිය හැකි ය.  ඉන්ද්‍රාණී බෝගොඩ ගායිකාවත් ශෂිකා නිසංසලා ගායිකාවත් ගයන විට ඇස් පාලනය කරන ආකාරය ද මුහුණෙහි ඉරියව් පාලනය කරන ආකාරය ද නරඹන්න.  ඉන්ද්‍රාණී බෝගොඩ, ඒ ඒ පදයේ ගායන අවධාරණාර්ථය අනුව ඇසි පිය ද හසුරුවන ආකාරය නිරීක්ෂණය කරන්න. වඩා සංකීර්ණ රූප රටා සහිත නිසංසලා ගේ ගීතයේ දී, ගායිකාව සමඟ නඵ-නිළි දෙපළ ඇස් හසුරුවන ආකාරයත් රූප රාමු ඡේදනය වන අයුරුත් ගීතයේ පදමාලාව සමඟ එහි ඇති සම්බන්ධයත් අධ්‍යයනය කරන්න.  උදාහරණයක් ලෙස, තත්පර 38 සිට 1.38 දක්වා කාලය නිරීක්ෂණය කිරීමෙන්, ගායිකාව සමඟ නඵ-නිළි දෙපළ ඇස් හසුරුවන ආකාරයත් රූප රාමු ඡේදනය වන අයුරුත් පිළිබඳ ව දත්ත රුස් කරන්න.
මෙතෙක් විග්‍රහ කළ කරුණු අනුව සන්ධාර විශ්ලේෂණ හෙවත් අන්තර්ගත විශ්ලේෂණ පර්යේෂණ ක්‍රමය (content analysis) ඔස්සේ ඔබ ගමන් කර ඇති බව පැහැදිලි වනු ඇත. මේ විධික්‍රමය අනුව පෙළපොතක පද-වැකි-ඡේද භාවිත වී ඇති අයුරුත් පෙළපොත භාවිත කරන ශිෂ්‍යයාගේ වයසට මනසට උචිත පරිදි එය සකස් වී ඇති අයුරුත් ගුරුවරයකුගේ පාඩමක/දේශනයක අදහස් ගලා යන රටාත් විශ්ලේෂණය කළ හැකි ය. මුහුණු පොතේ කිසියම් සිද්ධියකට අදාළ ව යන විවිධ අදහස් (උදා- අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ජනය) ද මුහුණු පොත් සාමාජිකයකු බෙදා හරින පෝස්ට්වලරටා ද, සන්ධාර විශ්ලේෂණ පර්යේෂණ ක්‍රමය අනුව විශ්ලේෂණය කළ හැකි ය.  


No comments:

Post a Comment