Sunday 1 July 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (56) මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් - 1

1.             මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය පදනම් වූ පර්යේෂණයක් කිරීම, අභියෝගාත්මක වන්නේ ඇයි?
මිශ්‍ර පර්යේෂණ ක්‍රමවේදය පදනම් වූ පර්යේෂණයක් කිරීම, පහත දැක්වෙන හේතු හත නිසා අභියෝගාත්මක ය; ගැටලු ද ඉස්මතු කරනසුලු ය.
I.  පළමු ව, මිශ්‍ර ක්‍රමවේදය පදනම් ව පර්යේෂණයක්  කිරීමේ නැඹුරුවක් ඇති වන්නට නම්, මිශ්‍ර කළ යුතු ව තිබෙන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක යන පර්යේෂණ ප්‍රවේශ දෙක ම ගැන ගැඹුරු අවබෝධය තිබීම ඇවැසි වේ. ප්‍රමාණාත්මක හා ගුණාත්මක ප්‍රවේශ පිළිබද පර්යේෂකට ඇති අවබෝධයේ ගැඹුර හෙවත් ඒවා භාවිතයේ ලා පර්යේෂකට ඇති පහසුව (comfort level), මේ  අනුව සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණු දෙකක් වේ. 
II.    දෙවනු ව ප්‍රමාණාත්මක ප්‍රවේශයේ ලක්ෂණය වනුයේ, සාමාන්‍යකරණය (generalization) යන මූලධර්මය පදනම් කර ගෙන, පූර්වයෙන් තීරණය කළ ස්ථාවර පිරිසැලසුමකට අනුව පර්යේෂණය කර ගෙන යාමයි  (pre-determined fixed methodology). එහෙත් උද්භව/මතු වන (emergent) ක්‍රමවේදයක් සහිත වූ ද සුඛනම්‍ය වූ ද ගුණාත්මක ප්‍රවේශයේ දී, රැස් වන දත්ත අනුව සහ සංතෘප්තිය (saturation) සඳහා අවශ්‍ය දත්ත අනුව පර්යේෂණ ගමන් මග වෙනස් වන්නේ ය; අවිනිශ්චිත ද වන්නේ ය. මේ මූලික ලක්ෂණ දෙකට හානි නො වන සේ ප්‍රවේශ දෙක මිශ්‍ර කරන්නේ කෙසේ ද? යන්න ද පර්යේෂක මුහුණ පාන ගැටලුවකි.
III. තෙවනු ව, ප්‍රමාණාත්මක ප්‍රවේශය පදනම් කර ගෙන හෝ ගුණාත්මක ප්‍රවේශය පදනම් කර ගෙන හෝ පමණක් පර්යේෂණය නො කර, පර්යේෂණ ප්‍රවේශ දෙක  මිශ්‍ර කිරීම සඳහා වන තාර්කිකය (rationale) නිශ්චිත ව පෙන්වීම අවශ්‍ය වේ. පර්යේෂණ ගැටලුව සහ නිශ්චිත පර්යේෂණ අරමුණු/ප්‍රශ්න/කල්පිත අනුව ම, කුමන පර්යේෂණ ප්‍රවේශය හෝ මිශ්‍රිත පර්යේෂණ ප්‍රවේශය උචිත දැයි තාර්කික ව නීර්ණය කර ගත යුතු ය.  ස්වකීය කැමැත්ත කරණ කොට ගෙන, පූර්ව විනිශ්චය (හෙවත් ඒ ඒ ප්‍රවේශයට ඇති බැඳීම (prejudice) අනුව  "මම මිශ්‍ර පර්යේෂණයක් කරමි" යයි තීරණය කිරීම හෝ "ඔබ මිශ්‍ර පර්යේෂණයක් කළ යුතු ය"යි උපදේශකයකු පර්යේෂකට, පර්යේෂණයේ මුල් අවස්ථාවේ ම පැවසීම, පර්යේෂණ ක්ෂේත්‍රය  පිළිබඳ අඩු නිපුණතා පෙන්වන ලක්ෂණයකි.
IV. සතරවනු ව ප්‍රවේශ දෙක මිශ්‍ර කිරීමේ ලා විවිධ ක්‍රම පවතින නිසා, කුමනාකාරයේ මිශ්‍රණයක් සුදුසු ද යනු තීරණය කිරීම ද තෝරා ගත් මිශ්‍රණ ක්‍රමය, තෝරා නො ගත් මිශ්‍රණ ක්‍රමවලට වඩා උචිත ඇයි දැයි තාර්කික ව පෙන්වීම ද අවශ්‍ය වේ. මේ හා සම්බන්ධ වන අනුගැටලු ද වේ.
·    ප්‍රමුඛතාව දෙන්නේ කුමන ප්‍රවේශයට ද?  හෙවත් වැඩි බර තබනුයේ කුමන ප්‍රවේශයට ද? ප්‍රමුඛතාව දෙන්නේ ප්‍රමාණාත්මක  දත්තවලට ද?  ගුණාත්මක  දත්තවලට ද?  ප්‍රවේශ දෙකට ම සමාන බරක් තබනුයේ ද?
·    ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ප්‍රවේශවලින් දත්ත රැස් කරන අනුපිළිවෙළ කුමක් ද?  එක ම දත්ත සමූහයක් ලෙස සලකා, සමාන්තර ව එක වර ම ද? ප්‍රවේශ දෙකින් දත්ත රැස් කරනුයේ සමාන්තර ව නමුත්  වෙන වෙන ම ද?  ප්‍රවේශයකට පසු තව ප්‍රවේශයක් ලෙස පියවර දෙකක දී ද?
·    දත්ත විශ්ලේෂණය කරන්නේ එක ම දත්ත සමූහයක් ලෙස සලකා එකට ම ද? සමාන්තර ව වෙන වෙන ම ද?  ප්‍රවේශයකට පසු තව ප්‍රවේශයක් ලෙස පියවර දෙකක දී ද?
·     ප්‍රමාණාත්මක හා ගුණාත්මක දත්ත මිශ්‍ර කරනුයේ දත්ත රැස් කරන අතරතුර ද? දත්ත රැස් කිරීමෙන් පසු විශ්ලේෂණයට පෙර ද? දත්ත විශ්ලේෂණය කරන විට ද? දත්ත විශ්ලේෂණයෙන් පසු දත්ත අර්ථනිරූපණය කරන විට ද?
V.    පස්වනු ව මිශ්‍ර කිරීම නිසා එක ම දේ නැවත නැවත අනවශ්‍ය ලෙස කිරීමේ දුර්වලතාව (overlapping weaknesses), පර්යේෂණයේ ලක්ෂණයක් ලෙස  ජනනය/නිරූපණය  නොවිය යුතු ය. මිශ්‍ර කිරීමේ දී විය යුත්තේ උෘන පූරක (complementary) භූමිකාවකි. එනම් ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක ප්‍රවේශ මිශ්‍ර කළ යුත්තේ, ප්‍රමාණාත්මක හෝ ගුණාත්මක පර්යේෂණ ප්‍රවේශ දෙකින් පර්යේෂණ දෙකක් වෙන වෙන ම කළේ නම්, එම පර්යේෂණවලින්  පියවන්නට බැරි වූ පාර්ශ්ව, තර්කානුකූල ව, අරමුණු සහගත ව පියවීමේ අරමුණිනි. ඒ නිසා මැනවින් කල්පනා කර, මිශ්‍ර ප්‍රවේශයේ පර්යේෂණයක් සැලසුම් කිරීම අවශ්‍ය වේ.
VI. සයවනු ව, පර්යේෂණ ගැටලුවට අදාළ ව මිශ්‍රණය අත්‍යවශ්‍ය නම්, හුදෙක් ප්‍රවේශ දෙක මිශ්‍රණය හා ප්‍රමාණාත්මක-ගුණාත්මක  දත්ත මිශ්‍රණය  ගැන පමණක් සැලකිල්ල යොමු නො කර, පර්යේෂණ ක්‍රම මෙන් ම පර්යේෂණ ක්‍රියාවලිය ම මිශ්‍රණය කිරීම ගැන අවධානය යොමු කළ යුතු ය. මගේ අත්දැකීම් අනුව, ශ්‍රී  ලාංකික අධ්‍යාපන පාඨමාලා සන්දර්භයේ දක්නට ලැබෙනුයේ, ප්‍රමාණාත්මක-ගුණාත්මක  දත්ත එකතු කිරීමට යොමු වූ (ඒවා විධිමත් ව විශ්ලේෂණය කරන බවක් ද දක්නට නො ලැබේ) පර්යේෂණ රටාවකි.
VII.   සත් වනු ව පර්යේෂණය කිරීමට ඇති කාලය සහ මුදල්-සම්පත් යන සාධක දෙක අනුව ද, යථාර්ථවාදි ලෙස, මිශ්‍ර ක්‍රමවේදය භාවිතයට ගත හැකි පදනමක් පර්යේෂකට තිබිය යුතු ය.

No comments:

Post a Comment