Saturday 10 March 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් - (34) පර්යේෂකයකු වීම සඳහා අප සතු පර්යාලෝකය වෙනස් කර ගනිමු; පළල් කර ගනිමු.


කීර්ති ලංකාරත්න හෙවත් විස්ලින් (Whistling) කීර්ති විසින් 'ආදරයේ සිවුරුහන් හඬ' යන තේමාවින් විස්ල් හඬින් නිර්මාණය කරන ලද සංගීත ඛණ්ඩයට (1 වන වීඩියෝව) සවන් දෙමින්, දිස් වන රූප රාමු පෙළ නරඹන විට, ඔබට ඇති වන සිතුවිලි මොනවා ද? ඉන්දියානු නිළි අයිශ්වර්යා රායි සහ ෂාරුක් ඛාන් ද තවත් නාඳුනන හින්දි යුවලක් ද චීන හැඩහුරුකම සහිත යුවලක් ද ප්‍රංශයේ අයිෆල් කුළුණ පසුබිමින් දැක්වෙන දර්ශනයක් දෙස බලන යුවලක් ද හඳක් සහ කාන්තාවක් සහිත රූපරාමුවක් ද ඇතුඵ රූප දකින ඔබට ඔබේ අත්දැකීම් පදනමි කර ගෙන, විවිධ අදහස් මනසේ ඇති වන්නට ඇත. ඔබේ කනට ඇසෙන විස්ල් හඬ සහිත සංගීතය මෙන් ම ඇසට පෙනෙන මේ දර්ශන ද නිසා ඔබේ සිතට දැනෙන කරුණුවලට අමතර ව, ඔබට හුරුපුරුදු ශ්‍රී ලංකාවේ ගීතයක් ද මතක් වෙන්නට ඇත. එනම් එච්. ආර්. ජෝතිපාල ගායනා කළ 'අඬන්නෙ ඇයි සුදු මැණිකේ' යන ගීතයයි (2 වන වීඩියෝව). එකී ගීතයේ පදවලින් ඇඟවෙන අදහස් නිසා ඔබට රූප දකින විට ඇති වන අදහස්වලට වඩා වෙනත් ආකාරයක අදහස් ද පහළ වන්නට පුළුවන. මේ ආකාරයෙන් ඔබේ සිතේ මතු වන විවිධ පර්යාලෝක ගැන සැලකිල්ලෙන් සිත යොමු කරන්න.
          මට මේ නිර්මාණය අසන විට මතක් වූ කරුණක් වූයේ 'හොඳ ම සංගීත භාණ්ඩය මිනිස් කටහඬ' යන්නයි'. කටහඬෙහි පාර්ශ්වයක් ලෙස සැලකිය හැකි සිවුරුහම් හඬ නිර්මාණාත්මක ව යො දා ගැනීම ගැනත් මට සිතුවිලි පැමිණියේ ය. Clint Eastwood රඟපෑ For a Few Dollars More යන 1973 දී පමණ නැරඹූ කව්බෝයි චිත්‍රපටය ද මට මතක් විය (https://www.youtube.com/watch?v=D6bjFNMJDc4 බලන්න). ඔබට මේ අදහස් දෙක පැමිණියේ ද? පිළිතුර 'ඔව්' හෝ 'නැත' විය හැකි ය. වඩා වැදගත් වන්නේ, 'පර්යාලෝක Perspective' යනු, පුද්ගලයා අනුව වෙනස් වන බව තේරුම් ගැනීමයි. පර්යේෂකයකු වීම සඳහාත් ජීවිතය වඩා හොදින් තේරුම් ගැනීම සදහාත් අප සතු පර්යාලෝක, සමහර විට වෙනස් කර ගන්නට සිදු වේ.
           දැන් අපි විස්ලින් කීර්තිගේ සහ ජෝතිපාලගේ නිර්මාණවලට පදනම් වූ, මුල් නිර්මාණය සොයා යමු. මේ ගමනේ දී, සමාන තනුව සහිත ව ගැයෙන හින්දී ගී ගණනාවක් ම රස විඳින්නට හැකියාව ලැබේ. 3 වන ගීතය ගැයෙන විනාඩි 5 තත්පර 20 මුඵ කාලයේ ම දක්නට ලැබෙනුයේ ගායකයාගේ රූපයකි. මුල් විනාඩි 3 තත්පර 50ක් ගත වන මුල් කාලයේ ගීතයේ ස්ථායී සහ අන්තරා කොටස් හතර ම ගයනුයේ ගායකයා ය. මේ අනුව සිතෙනුයේ මෙය ගායකයකු පමණක් ගයන ගීතයක් බව ය. එහෙත් අග විනාඩියේ දී කාන්තා කටහඩක් ද ගීතයට එකතු වේ. මේ නිසා අපූරු ලක්ෂණ සහිත ගීතයේ වගතුග සොයන්නට තවතවත් අන්තර්ජාලයෙන් කරුණු සොයන විට, මේ ගීතය ම විවිධ ගායකයන් විසින් ගයනු ලබන විවිධ අවස්ථා හමු වෙයි. ඒවා ඔස්සේ විස්ලින් කීර්තිගේ නිර්මාණයෙන් ශ්‍රාවකයකුට මතු වූ පර්යාලෝක ධාරාව කෙසේ වෙනස් වන්නේ දැයි තවදුරටත් විමසා බලමු.
            සතරවනුවට ඇති ගීතය ගැයෙන විට රූප රාමුවක් ලෙස තිබෙනුයේ ගායක ගායිකා දෙපළගේ නම් (සික් ජාතිකයකු ලෙස සැරසී සිටින ගායකයකු සහ හින්දි ගායිකාවක) සමඟ ඔවුන්ගේ ඡායාරූප දෙකක් පමණි. පැරණි චිත්‍රපට ගීයක් බවට වැකියක් ද ලියැවී තිබේ. දෙවන ගීතය මෙන් ම මෙහි දී විනාඩි 4 තත්පර 50 වන ගීතයේ, මුල් විනාඩි 3 තත්පර 50 කාලයේ ම ගීතය ගයනුයේ ගායකයා ය. මේ අනුව ද සිතෙනුයේ ගායිකා රූපයක් තිබුණ ද මෙය ගායකයකු පමණක් ගයන ගීයක් බවත් සිංහල ගීතයේ අදහස අනුව 'සුදු මැණිකේ' නිරූපණයට කාන්තා රුවක් භාවිත කර ඇති බවත් ය. ස්ථායී සහ අන්තරා කොටස් හතරක් ම ගායකයා ම ගායනා කරන නිසා ගායිකාවකගේ රූපයක් තිබෙන්නේ ඇයි දැයි යන ගැටලුව ද ගීතය පළමු ව ශ්‍රවණය කරන විට මට දැනිණි. ගීතයේ අගභාගයේ දී ගායිකාව ගීතයේ අන්තරා කොටසක් සහ ස්ථායි කොටසක් ගායනය කරනු අසන්නට ලැබේ. මේ අනුව කොටස් හයකින් සමන්විත ගීතයේ ආකෘතිමය වශයෙන් වෙනසක් ද තිබෙන බව පැහැදිලි වේ. එකී වෙනස පදනම් කර ගෙන අපූරු ගීත නිර්මාණයක් සමාජයට ලැබී ඇති බව ද නිශ්චිත ය. ස්ථායි-අන්තරා කොටස් අතර ඇති වාදන ඛණ්ඩ තුන එකිනෙකට වෙනස් වීම ද හින්දි ගීතයේ විශේෂ ලක්ෂණයකි. සංගීත රචනාවේ මෙන් ම ගායක ගායිකා දෙපළගේ කටහඬෙහි සංවර ස්වරය ද රිද්මය ද සිත් ගන්නාසුලු ය. කීර්ති ගේ නිර්මාණයේ පසුබිම් සංගීතයට පදනම් වූ ජෝතිපාල ගැයූ ගීතයේ සංගීතයේ කිසියම් ආකාරයක දැඩි ගතියක් ඇතත් මේ හින්දි ගීතයේ පසුබිම් සංගීතයේ ඇත්තේ සංවර රිද්මයකි. Whistling කීර්ති කළ නිර්මාණයේ පදනම ජෝතිපාලගේ ගීතය නිසා, කාන්තා කටහඬ, විස්ල් නඳින් නිරූපණය වූයේ කෙසේ දැයි සොයා බලන්නට නො හැකි ය. මින් පසු යුගල ගීත ස්වකීය නිර්මාණවලට පදනම් කර ගන්නා විට, ගායක-ගායිකා ශෛලියේ වෙනස ඉස්මතු කරන්නට ස්වකීය අවධානය කීර්ති විසින් යොමු කරනු ඇතැයි සිතමි.
            දැන් අප එම හින්දි ගීතය ම සජීවී ව ගායනා කරන ගායක ගායිකා යුවළක් (Rana Chatterjee and Sangeeta Melekar) දෙස බලමින් පස් වන හින්දි ගීතය රස විඳිමු. මෙතෙක් අප සජීවී ව ගීතය ගායනා කරන ආකාරය දැක තිබුණේ නැත. ඒ අනුව මේ ගීතය සජීවී ව ගයන අයුරු නිරීක්ෂණයෙන් අපට අලුතෙන් ලබා ගන්නට පුළුවන් අදහස් සහ පර්යාලෝක මොනවා ද? සරල ව කිව හොත් ඇස්වලින් තොර ව කන්වලින් පමණක් රස විඳි ගීතය, දැන් අපි ඇස්වලිනුත් රස විදින්නට සූදානම් වෙමු. ඒ අනුව අපේ පංච ඉන්ද්‍රියන්ගෙන්, දෙකක් ක්‍රියාකාරී වෙයි. ගායකයා වැඩි කලක් ගීතය ගයන අතරතුර, ගායිකාවගේ ශාරීරික ඉරියව් ගීතයේ රිද්මය අනුව ඉබේ ම මෙන් හැසිරෙන ආකාරය නිරීක්ෂණය කරන්න. ඇය ගායකයාගේ ගී ගැයුම රිද්මයානුකූල ව රස විඳින ආකාරයත් ඒ අනුව ගායනා නො කරන අවස්ථාවල ඇය මුහුණ හා හස්තය චලනය කරන ආකාරයත් ඒ රටාවල ඇති නිර්මාණාත්මක බවත් සලකා බලන්න. එසේ ම ගායකයා ගයන විට පළ කරන ඉරියව්වල උචිතානුචිත බව ද තීරණය කරන්න. වාදක මණ්ඩලයේ සාමාජිකයනගේ රිද්මය ගැන ඇති වන අදහස් ද ගැන සිතන්න. මේ කරුණු අනුව ගීතයක් රස විඳීමට අදාළ ව, දැන් ඔබ සතු ව වෙනස් වූ පර්යාලෝක සහ විවිධ වූ පර්යාලෝක ගොඩ නැඟී ඇත්දැයි තීරණය කරන්න. ඒ අනුව ඔබගේ සිතිවිලි සහ ඔබේ පර්යාලෝකය වෙනස් වී ඇති ආකාරය ද තක්සේරු කරන්න. දැන් ඔබට මුලින් ම ඇසුණු ගීත හතරට වඩා, වෙනත් පර්යාලෝක සමූහයක් ලැබී ඇතැයි සිතෙන්නේ ද?
             ගායකයා ගීතයේ කොටස ගැයූ පසු, ගායිකාව ගයන්නට පෙර, ගීතයේ සංගීත නිර්මාපක වන ඕ. පී. නයියාර් ගේ රූපයක් දර්ශනය වේ. දැන් අපට සංගීතඥයා ගැනත් ඔහුගේ නිර්මාණ නවතාව ගැනත් සිතන්නට මගක් පෑදී ඇත. මට නොතේරෙන හින්දි භාෂාව නිසා, ගීතයේ පදමාලාවෙන් දෙන අදහස් උකහා ගත නො හැකි නිසා, පදමාලාව සම්බන්ධයෙන් මගේ පර්යාලෝකය, තවමත් ජෝතිපාලගේ ගීතයේ අර්ථයට සීමා ව ඇත. හින්දි බස දන්නා අයකුට නම් තවත් නවතම වූ පර්යාලෝක ඇති වනු නිසැක ය.
              අවසන් වශයෙන් මේ ගීතය ඇතුළත් චිත්‍රපටයේ දර්ශනය නරඹමු. එවිට මහේන්ද්‍ර කපූර් සහ ආශා බෝස්ලේ ගායනය කළ ගීතය, තමන් ගයන බව නිරූපණය කරමින් රඟපාන නළුවකු සහ නිළියක අපට දකින්නට ලැබේ. එසේ ම මේ නළු නිළි යුවළගේ විවිධ ඇදුම් පැළදුම්, ඔවුන් රඟපාන විවිධ දර්ශන තල අනුව වෙනස් වන බව ද දක්නට ලැබේ. පැරණි චිත්‍රපටවල සිප ගැනීම් නොපෙන්වූ අතර මල් දෙකක් සමීප වන අයුරු හෝ මලකට සමනලයකු වසන අයුරු මගින් සිප ගැනීම නිරූපණය කළේ ය. ඒ බව ද නිරීක්ෂණය කරන්න. නඵනිළි යුවලගේ මුහුණුවල 'මේක්අප් රටා' හොදහැටි පෙනෙයි. නිළියගේ ගමනේ සිත් ගන්නාසුලු රිද්මයක් ද වේ. ගීතයෙන් පළ වෙන හැඟීම් උපරිම ව පළ කරන්නට නළු නිළි යුවල සමත් වන්නේ ද යන්න පිළිබඳ ව විවේචනාත්මක ව බලන්නට ද ඔබට හැකියාව ලැබේවි. ඊට අමතර ව විවිධ පරිසර නිරූපණය වන උයන් වතු, හිමෙන් වැසුණු ප්‍රදේශ, ගංගාවල-ඔරුවල ඉදි වූ නිවාසවල වෙසෙන ජනයා ආදී ලෙස නිරූපණය වීමෙන් මතු වන අදහස් මොනවා ද?


මේ ගීතය සහිත උයන නරඹන විට, 1994 ඉන්දියාවේ රාජස්තානයේ උදයපූර් නගරයට ගිය විට නැරඹූ, රජ කුමරියන් සඳහා පැරණි කල ඉදි වූ උයන මගේ මතකයට නැගිණි. මේ උයන චිත්‍රපට දර්ශනවලට නිරතුරු ව ගන්නා බව අපේ මාර්ගෝපදේශක ලෙස කටයුතු කළ, අධ්‍යාපන නිලධාරි මහතා පැවසුවේ ය. අවට කඳුවල කිසිදු ගහකොළක් නො වූ අතර වැව ළඟ මේ උයන නම් අපූරු සුන්දරත්වයක් පළ කළේ ය. මේ උයන ගැන විස්තර ඉන්දියාව ගැන මා ලියූ පොතේ ඇතුළත් ය.
             මේ ගීතය නරඹන අවස්ථාව වන විට ඔබට ජෝතිපාල ගැයූ ගීතය අමතක ව තිබෙන්නටත් පුළුවන්. මෙයින් එක අතකින් පැහැදිලි වන්නේ ද්විතීයක මූලාශ්‍රයට වඩා ප්‍රාථමික මූලාශ්‍රය මිනිස්සුන්ගේ සිත්වල මැනවින් පැලපදියම් වන බවයි. එහෙත් ප්‍රාථමික මූලාශ්‍රය වෙත යාමට පර්යේෂණවල දී ද්විතීයක මූලාශ්‍ර උදව් කර ගත හැකි බව ද ඔබට පැහැදිලි වන්නට ඇත.


(ලිපිය කියවූ කිහිප දෙනකු හින්දි ගීතයේ සිංහල අරුත විමසූහ. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ හින්දි භාෂාව පිළිබඳ විශේෂඥවරියක වන තනූජා ජයතිලක මහත්මියගෙන් මේ ගීතයෙහි දළ අදහස ගොනු කර දෙන්නැයි ඉල්ලා සිටි විට ඇය ඉංග්‍රීසියෙන් එවූ අදහස් මෙසේ ය.
Gent - In this world, the person you like should be only me. The God also won't accept another person.
I wonder one day your life, your smile would be belong to another person. Please don't come that day on which we will separate, and you will search another person's love. I'm the crazy person of your love. I'll be close to your mind at any situations, even your painful situations. ...
 

Lady - I believe nothing will happen like that. I fully trust on my love. I'll not be cheated by your love. I wish in this world, the person you like, you need should be only me. The God won't accept any other lady for you....
 
මෙහි දළ සිංහල පරිවර්තනය මෙසේ ය.
නඵවා- මේ ලෝකයේ ඔබ කැමති පුද්ගලයා මා පමණක් විය යුතු ය. දෙවියන් පවා වෙනත් පුද්ගලයකුට එකඟ නො වනු ඇත.
අනාගතයේ ඔබේ ජීවිතයත් සිනහවත් අන් අයකුට අයත් වේ යයි යන සැකය මට වේ. අප වෙන් කරන සහ ඔබ වෙනත් අයකුගේ පෙම සොයා යන එම දිනය නො පැමිණෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබේ ආදරයෙන් උමතු වූ පුද්ගලයා මම වෙමි. ඕනෑම අවස්ථාවක, ඔබට වේදනාකාරි අවස්ථාවක පවා, මම ඔබේ මනසට ළං ව සිටිමි.
 
නිළිය- එවැන්නක් නම් නො වේ යයි මම විශ්වාස කරමි. මා ඔබ පිළිබඳ මගේ ආදරය පිළිබඳ ව සම්පූර්ණයෙන් ම විශ්වාස කරමි. මම ඔබේ ආදරයෙන් රැවටී නැත. මා මෙලොව දී විශ්වාස කරනුයේ, ඔබ කැමති, ඔබට අවශ්‍ය මා පමණක් බවයි. දෙවියන් ඔබට වෙනත් ළඳක් වෙන් කර නො දෙනු ඇත.)


No comments:

Post a Comment