Friday 13 July 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (60) අධ්‍යාපන පර්යේෂණ විෂයය පිළිබඳ පළමු සිංහල කෘතිය - චන්ද්‍රා ජයසූරිය භූමිකාව



කොළඹ විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපන පීඨයේ සේවය කර විශ්‍රාම ලැබූ මහාචාර්යතුමියක වූ චන්ද්‍රා ජයසූරිය මහත්මියගේ  අභාවය (මැයි මස සිදු වූ)  පිළිබඳ ව ඉතා ම කනගාටුදායක ආරංචිය අද මට ලැබුණි.  මේ අවස්ථාවේ දී ඇය කළ සේවය ගැන කරුණු බිඳක් කියන්නට කැමැත්තෙමි.
පළමු ව, මා 1972-1975 කාලයේ දී, කොළඹ විශ්වවිද්‍යාලයයේ සමාජ අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාව + අධ්‍යාපනවේදී උපාධිය හදාරන කල, "ඇගයුම් සහ සංඛ්‍යානය" විෂයය උගැන්වූයේ මෙතුමියයි. ශිෂ්‍ය මිතුරු ශෛලියෙන් වූ ඇයගේ කථිකාචාර්ය භූමිකාව ඉතාමත් අගය කළ යුතු ය. කලා විෂයධාරාව මගින් උසස් අධ්‍යාපනයට පිවිසි මට, ගණිතයට සම්බන්ධ සංකල්ප තේරුම් ගන්නට, ඇයගේ ඉගැන්වීම් ශෛලිය බෙහෙවින් උපකාර විය. එකල තිබූ පහසුකම් අනුව, නව කලාගාරයේ තිබූ කඵලෑල්ල පමණක් භාවිත කරමින්, ඇය සංඛ්‍යාන සංකල්ප උදාහරණ සහිත ව පැහැදිලි කර දුන් අයුරු, අදටත් මතකයේ තිබේ.  දැනටත් මා සතු ව ඇයගේ දේශන ආශ්‍රිත ව ලියා ගත් සටහන් තිබේ.
දෙවනු ව, මට මතකයි එතුමිය කියනවා ඇය විදෙස් රටක ඉගෙන ගන්නා කල, බෙන්ජමින් එස්. බ්ලූම් යටතේ ද විෂයය හැදෑරු බව.  බ්ලූම්ගෙන් ගැටලුවක් ගැන විමසු විට "ඔව්"  "නෑ" ලෙස කෙටි උත්තර දුන් බවත් ඒ නිසා ශිෂ්‍යයා ලෙස තමාට ම ස්වයං ඉගෙනුමක් ලබන්නට මග පෑදුණු බවත් එතුමිය නොකියා කීවා ය. ඇයගේ දේශනයක දී, නොතේරෙන තැන්  ශිෂ්‍යයන්ට ඇතැයි ඉවෙන් මෙන් දැන ගෙන බ්ලූම් ගැන මේ අදහස් කියූ බව ද සිතමි.  බ්ලූම් කොයි වෙලාවෙත් පුස්තකාලයේ පොතපත අතර ගැවසුණු බවත් එතුමිය පැවසුවා ය. ඇයගේ උගැන්වීම් ශෛලියේ ලක්ෂණයක් වූයේ දේශන නො දී, කීප වරක් පැහැදිලි කරමින්, සංඛ්‍යාන සංකල්ප පැහැදිලි කර දීමයි. ඒ අතර ම අවබෝධය සඳහා ශිෂ්‍ය කැප වීමත් අවශ්‍ය බව වක්‍රානුකූල ව ඇය බ්ලූම් පිළිබඳ උදාහරණයෙන් පැවසූවා වැනි ය.
තෙවනු ව,  අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන සිංහල මාධ්‍යයෙන් ප්‍රථම කෘතිය,  "අධ්‍යාපන පර්යේෂණ ක්‍රමශිල්ප" නමින්  පළ කරනු ලැබුවේ ද එතුමියයි. එම කරුණ වුණත් ඇය ශ්‍රී ලංකා අධ්‍යාපන පර්යේෂණ ක්ෂේත්‍රයට කළ සේවය ප්‍රමාණනය කරන්නට ප්‍රමාණවත් ය. අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවිද්‍යාවේ විවිධ පැති ආවරණය කළ එම කුඩා පොතට සමාන පොතක් සිංහලෙන් තාම පළ වී නැත. ඊට හේතුව අනතුරු ව  පළ වූ පොත් නාභිගත වන්නේ පර්යේෂණ ක්‍රමවිද්‍යාවෙහි තෝරා ගත් පැතිවලට පමණක් වීමයි.  එතුමිය එකී පොත පළ කරන විට, පොදුවේ පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන සිංහලෙන් පළ වී තිබුණේ ද ගතාරේ ධර්මපාල හිමිගේ පර්යේෂණ පොත පමණකි. මේ නිසා අධ්‍යාපන පර්යේෂණ ක්‍රමවිද්‍යාව ගැන මෙන් ම, පොදුවේ පර්යේෂණ ක්‍රමවිද්‍යාවට අදාළ සිංහල පොතපත විග්‍රහ කරන විටත්, "චන්ද්‍රා ජයසූරිය" යන නමට ඓතිහාසික වටිනාකමක් හිමි වේ. 
එතුමියට නිවන් සුව පතමි.


ආරංචිය දුටුවේ Marie Perera මුහුණු පොත් පිටුවෙනි.

May 8 ·

Professor Chandra Jayasuriya the most unconventional, humble and caring academic and former Dean of the Faculty of Education passed away last week.
thank you madam for making educational statistics so simple for me and my TESL colleagues who found the subject difficult.
May you rest in peace!


Tuesday 10 July 2018

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (59) ඵලදායි ගුරුවරුන් හඳුනා ගැනීමේ ලා ඇවැසි පර්යේෂණ


හැදින්වීම
Michael Strong (2011) The highly qualified teacher: what is teacher quality and how do we measure it?  New York: Teachers College Press.  යන පොත ලියූ මයිකල් ස්ට්‍රෝන්ග් කතුවරයාගේ පරමාර්ථය වූයේ ගුරු ගුණාත්මකභාවය සහ ගුරු කාර්යක්ෂමභාවය පිළිබඳ ව කර ඇති පර්යේෂණ සහ තවදුරටත් පවතින විවාදාපන්න ප්‍රශ්න (issues) සමාලෝචනය කර, ගුරුවරුන් ඇගයීම සඳහා, නිරීක්ෂණ පාදක කර ගෙන නව මිනුමක් සකස් කිරීම ය. විශේෂයෙන් අවධානය යොමු කර තිබෙනුයේ 2010 දී ඇමරිකා එක්සත් ජනපදයේ මහජන අවධානය යොමු වූ 'ශිෂ්‍ය සාධන මට්ටම් (student achievement levels) නගා සිටුවීම සදහා ගුරු භූමිකාව බලපාන අයුරු'  පිළිබඳ ව ය. ජනාධිපති බැරුක් ඔබාමා ද වොෂින්ටන් ඩී.සී. නගරයේ නගරාධිපති ද ක්‍රියාත්මක කළ, ගුරු වගවීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ (උදා- ගුරු වගවීම බලවත් කිරීමට උචිත ගෙවීම් ක්‍රම හා කාර්යක්ෂමතාව මිනුමට නව ක්‍රම) නිසා, මේ  විෂයයට අදාළ ව අභිනතියෙන් තොර වූ සමාලෝචනයක අවශ්‍යතාව මතු විය. ඒ අනුව ශිෂ්‍ය සාධනය සදහා, ගුරු භූමිකාවේ බලපෑම පිළිබද ව, වාස්තවික දත්ත හා විද්‍යාත්මක පර්යේෂණ අනාවරණ සහිත සන්දර්භයකින් සලකා බැලීමට කෘතිය ලියැවී තිබේ.
"විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම" යන නිර්ණායකය අනුව, කාර්යක්ෂමතාව අඩු හා වැඩි ගුරුවරුන් හදුනා ගැනීමට උචිත, ප්‍රායෝගික ක්‍රමයක් ලෙස කෘතියෙන් යෝජිත වනුයේ පන්තිකාමර නිරීක්ෂණයයි. පන්තිකාමර නිරීක්ෂණ මගින්, කාර්යක්ෂමතාව අඩු හා වැඩි ගුරුවරුන් හදුනා ගැනීමට අමතර ව,  ගුරුවරුන්ගේ වෘත්තිය සංවර්ධනය සහ ඔවුන්ට අවශ්‍ය උපදේශනය ගැන තීරණ ගැනීම සදහා ඇවැසි පදනම් ද හඳුනා ගත හැකි යයි අපේක්ෂා කොරේ.
මේ අනුව කෘතිය ශ්‍රී ලංකාවට ද අදාළ වන්නේ, "විභාග ප්‍රතිඵලවලට වගකිව යුත්තේ ගුරුවරයා ය" යන පූර්ව විනිශ්චයක සිට "ගුරුවරුන් පෙළන සංස්කෘතියක්" ශ්‍රී ලංකාවේ සමහර ස්ථානවල දක්නට ලැබෙන නිසා ය.  

පර්යේෂණ සාහිත්‍ය විමර්ශනය
ඉතා ඉහළ සුදුසුකම් සහිත ගුරුවරයකු සතු ගුණාංග මොනවා ද? ඒවා මනින්නේ කෙසේ ද? යන ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම සදහා කතුවරයා විමසා ඇති පර්යේෂණ සාහිත්‍ය විමර්ශනයන්, ගුරුවරයාට සම්බන්ධ විවිධ පර්යේෂණ සමාලෝචනය කර ඇත. එයින් පාර්ශ්ව දෙකක් පමණකි දක්වමි.
එක් පාර්ශ්වයක් අනුව, පන්තිකාමරයේ ගුරුවරයකු කටයුතු කරන ආකාරය ගැන තොරතුරු රැස් කිරීමට භාවිත කළ හැකි ක්‍රම 7කි.  
  • ·         පන්තිකාමර නිරීක්ෂණය
  • ·         පාසල් පරිපාලකයන්ගේ ඇගයුම- මේ සදහා පරිපාලකයන්  එක්ටැම් ගෙවල් (Ivory tower) වන් කාර්යාලවලට සීමා ව නො හිඳ, පන්තිකාමර නිරීක්ෂණ මෙන් ම ශිෂ්‍ය -දෙමාපිය ප්‍රතිචාර ද ශිෂ්‍ය ප්‍රගතිය පෙන්වන ලකුණු ද ශිෂ්‍යයාගේ ඉතිහාසය මෙන් ම ගුරුවරයාගේ ඉතිහාසය ද පදනම් කර ගත යුතු ය.
  • ·         ගුරුවරයා තබා ගන්නා සටහන් ගොනුව (Teacher portfolio)
  • ·         ඉගැන්වීමේ පල ලෙස ඉතිරි වන ලේඛන, ද්‍රව්‍ය (Teaching artefacts)
  • ·         ගුරුවරුන්ගේ ස්වයං වාර්තා (Teacher self reports) - ගුරුවරුන් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි භාවයෙන් රැස් කරන දත්ත, ගුරුවරයා තබන ලෝග් සටහන් සහ දින සටහන් විශ්ලේෂණය මගින් පන්තිකාමර ව්‍යවහාර තක්සේරු කළ යුතු ය.
  • ·         ශිෂ්‍ය තක්සේරු වාර්තා (Student ratings)
  • ·         ඇගයුම් මිශ්‍රිත ආකෘතිය (Value-added modeling) (VAM) - මෙමගින් පාසලත් ශිෂ්‍යයාත් ගුරුවරයාත්  ඇතුඵ සියලු පසුබිම් සාධක පදනම් කර ගෙන ශිෂ්‍ය ප්‍රගතිය නීර්ණය කරන නිසා, පළල් නිර්ණායක  භාවිත වේ. මීට පෙර පැවති ඇගයුම් ක්‍රම තුනෙහි දී වූයේ පහත සඳහන් සීමිත ක්‍රම ය.
(අ) ශිෂ්‍ය ප්‍රගතියේ පවතින තත්ත්වය  % ලෙස එක් සංකේතයකින් දැක්වීමේ ආකෘතිය (status model).  
(ආ) පසුගිය වර්ෂයේ එක් ශ්‍රේණියක ප්‍රතිඵල ඊළඟ වර්ෂයේ දී එම ශ්‍රේණියේ ම ප්‍රතිඵල හා සැසඳීම. එහෙත් මෙහි දී ශිෂ්‍ය කාණ්ඩ දෙක වෙනස් ය (උදා-  2015 දී 11 වන ශ්‍රේණියේ  සිසුන්‍ගෙන් 60%ක් සමත් වූහ.  2016 දී 11 වන ශ්‍රේණියේ  සිටින සිසුන්ගෙන් සමත්  ප්‍රතිශතය 55%ක් විය. එනිසා   2016 ගුරුවරයා දුර්වල ය) (cohort-to-cohort change model)
(ඇ) පසුගිය වර්ෂයේ එක් ශ්‍රේණියක සිසුන්ගේ ප්‍රතිඵල සමඟ ඊළඟ වර්ෂයේ එම සිසුන්ගේ ම ඊළඟ ශ්‍රේණියේ  ප්‍රතිඵල හා සැසඳීම (උදා-  2015 දී  6 වන ශ්‍රේණියේ සිසුන්‍ගෙන්‍ 70%ක් සමත් වූහ.  2016 දී එම සිසුන් ම 7 වන ශ්‍රේණියේ සිටින විට සමත් ප්‍රතිශතය 55%ක් විය. එනිසා   2016 ගුරුවරයා දුර්වල ය) (growth model)
පර්යේෂණ සාහිත්‍ය විමර්ශනයේ  තවත් පාර්ශ්වයක් අනුව ගුරු තෘප්තිය (satisfaction) යන සාධකය විග්‍රහ කර ඇත. විවිධ වෘත්තින්වල සාමාජිකයන්ගේ තෘප්තිය තරා කළ විට පවතින තත්ත්වය සහ සැබවින් ම පැවතිය යුතු තත්ත්වය මෙහි දී සසඳා තිබේ. තෝරා ගත් වෘත්තීන් කීපයකට අදාළ ව දක්වා ඇති දත්ත මෙසේ ය.
ශල්‍ය වෛද්‍ය                              -  පවතින    1    පැවතිය යුතු   1  
ජ්‍යෙෂ්ඨ ද්විතීයක අංශ ප්‍රධාන ගුරු- පවතින    8    පැවතිය යුතු   3
ප්‍රාථමික අංශ ප්‍රධාන ගුරු             - පවතින    10    පැවතිය යුතු   4  
ද්විතීයක අංශ ගුරු                        - පවතින    12  පැවතිය යුතු   6  
ප්‍රාථමික  අංශ ගුරු                        - පවතින    14  පැවතිය යුතු   7
  
නිරීක්ෂණ උපකරණය
කෘතිය අවසානයේ, සම්පරීක්ෂණ පර්යේෂණ 3ක් පදනම් කර ගෙන, 4 වන සම්පරීක්ෂණ පර්යේෂණය සඳහා,  ගණිත ගුරුවරුන්ගේ කාර්යක්ෂමතාව තක්සේරු කිරීමට සැකසු, නියාමක පරීක්ෂණයකට අයත් නිර්ණායක 10ක් ද ඒවා ගැන විස්තර ද සහිත නිරීක්ෂණ පත්‍රිකාවක් කෘතියේ සදහන් වේ (ගණිතය විෂයය මූලික කර ගෙන සැකසුණ ද, අනෙකුත් විෂය සම්බන්ධ විධිමත් පර්යේෂණ සඳහා ද මේ නියාමක පරීක්ෂණය, උචිත පරිදි විකරණය කර භාවිත කළ හැකි බව මගේ අදහසයි). නියාමක පරීක්ෂණයේ ඇති නිර්ණායක මෙසේ ය. 
1.       පාඩමේ පරමාර්ථය, අභිමතාර්ථ, සුවිශේෂී අරමුණු සහ ඉගෙනුම් පල (outcome) ශිෂ්‍යයන්ට වාචික ව හෝ දෘශ්‍ය ලෙස සන්නිවේදනය වීම; ගණිත පාඩම ගලා ගෙන යන අතර, ශිෂ්‍යයන් ප්‍රතිස්තම්භනය සදහා, පාඩමේ අභිමතාර්ථ සිසුන්ට අවධාරණය කිරීම;  පාඩමේ පරමාර්ථය සිසුන්ට සවිඥානක අතර, ඒ අනුව තමා කරන ක්‍රියාකාරකම් එසේ කරන්නේ ඇයි? යන ප්‍රශ්නයට ඔවුන්ට තම වචනවලින් ම කරුණු කිමට හැකි වීම.
2.       ශිෂ්‍ය පසුබිම ගැන අවබෝධය;  පාඩමට ඇති ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ව ගුරුවරයාට ඇති හැකියාව හා ආත්ම විශ්වාසය (comfortable); ශිෂ්‍යයන් පිළිබඳ ව කර ඇති පූර්ව ඇගයුම් හා ඒවායින් ළමයින්ට ලැබුණු  මට්ටම් ද ශිෂ්‍ය සූදානම ද ශිෂ්‍ය පුර්ව දැනුම ද  සමෝධනය කිරීම;  ඒ අනුව ශිෂ්‍යයන්ට ළඟා කර ගත හැකි පරිදි, පාඩම උගැන්වීම.
3.       පාඩම ඉදිරිපත් කිරීමේ විවිධාංග, ආකෘති, පර්යාලෝක, ඉගෙනුම් ශෛලි ගැන ගුරුවරුන් හා සිසුන් පාඩම පුරා අවධානයෙන් සිටීම; ගැටලු විසඳීමේ ලා ද විවාදාපන්න ප්‍රශ්න අරඹයා ද සොයා ගන්නා විසඳුම්වල දී ද විකල්ප මාර්ග ගැන ගුරුවරු හා සිසුහූ ගවේෂණය කරති; අවශ්‍ය පරිදි සාකච්ඡා, ලිඛිත ඉදිරිපත් කිරීම්, චල වින්දන ක්‍රියාකාරකම් (kinesthetic activities), හැසිරවුම් (manipulatives),  ශ්‍රව්‍ය-දෘශ්‍ය ආධාරක පාඩමට අඩංගු වනු ඇත; ශිෂ්‍ය ඉගෙනුම් වරණ (preferences) සහ අභිරුචි (interests) ගුරුවරයා අවශ්‍ය විට භාවිතයට ගනියි.
4.       උගන්වන ගණිත සංකල්පයට අදාළ ව බහුවිධ උදාහරණ සැපයීම සහ ශිෂ්‍යයන්ගෙන් බහුවිධ උදාහරණ උත්පාදනය කර ගැනීම (elicit),
5.       පාඩමේ දී ශිෂ්‍ය දායකත්වය නිරවද්‍ය (accurate) හා ප්‍රමාණවත් නො වන බවට උචිත ඉගි දීම;  ශිෂ්‍යයාට ම නිවැරදි පිළිතුර සමඟ සැසඳීමට,  උචිත නො වන උදාහරණ දීම නැත හොත් ශිෂ්‍ය ප්‍රතිචාර, පාඩමින් අපේක්ෂා කළ දැයට අදාළ නොවන්නේ ඇයි දැයි වක්‍ර ව පැවසීම; ශිෂයන්ගෙන් වැරදි පිළිතුරු ලද විට, එවාට පදනම් වූ පාඩමේ වැරදි සංකල්ප ගැන සිතුවිල්ල යොමු කිරීම
6.       පාඩමේ වේගය ශිෂ්‍යයන්ට අවබෝධ කර ගත හැකි මට්ටමට විය යුතු ය;  එසේ ම ඕනෑවට වඩා වේගය අඩු වුව හොත් උනන්දුව අඩු වනු ඇත.
7.       පාඩමේ ක්‍රියාවලියට අදාළ ව,  ඇයි? (Why?) සහ කෙසේ ද? (How?)යන ප්‍රශ්න මුල් වූ ප්‍රතිචාර ශිෂ්‍යයන්ට දීමට හැකි වන ලෙස පාඩම ගොඩ නැඟීම;  හුදෙක් හරි හෝ වැරදි යයි පමණක් සිසුන්ගෙන් කියැවෙන ප්‍රශ්න නො ඇසිය යුතු ය; ශිෂ්‍ය ප්‍රතිචාර පසුපස ඇති සිතිවිලි ගවේෂණයට හැකි ලෙස ප්‍රශ්න ඇසීමට ගුරුවරයා කටයුතු කළ යුතු ය. ඒ සඳහා ඇසිය හැකි ප්‍රශ්න මෙසේ ය. "ඔබ එහෙම කියන්නේ ඇයි? ඔබ එම පිළිතුර සොයා ගත්තේ කෙසේ ද?"
8.       අර්ථවත් ව සහ පාඩමේ ඒ ඒ අවස්ථාවේ මතු වන තත්ත්ව අනුව, මිතුරන් හෝ කඵලැල්ල සමග අන්තර්ක්‍රියාවෙන් ඉගෙනීමට මග පෙන්වීම;  ශිෂ්‍යයන්ට අවශ්‍ය, පුහුණුවට හා වැරදි වහා නිවැරදි කිරීමට හැකි මග පෙන්වීමේ ක්‍රියාවලියක් (guided practice) භාවිත වීම; කුසලතා පාදක ක්‍රියාවලියකට (skill based process) සම්බන්ධ පැහැදිලි පියවර ශිෂ්‍යන්ට සැපයිය යුතු ය.
9.       උචිත වූ පැහැදිලි භාෂාවකින් විස්තර සැපයීමෙන්  සහ පැහැදිලි කිරීමෙන් ගණිත සංකල්පය පිළිබඳ ශිෂ්‍ය අවබෝධය උපරිම කිරීම; ගුරුවරයා පන්තියේ භාවිත කරන භාෂාවෙන්, ඔහුගේ ගණිත සංකල්ප දැනුම මෙන් ම අදහස් පළ කිරීමේ වාච්‍ය හැකියාව ද පරාවර්තනය වේ. එමගින් සියලු ශිෂ්‍යයන්ට අවබෝධ කර ගත හැකි වන පරිදි, ගුරුවරයාගේ විස්තර කිරීම් පැහැදිලි අතර,  ව්‍යාකූල නො වේ.
10.   පාඩම පුරා, ශිෂ්‍ය සහභාගිත්වය උපරිම වීම;   ශිෂ්‍යයා පාඩම් කාලයේ දී උපරිම ව පාඩමට සහ අදාළ ක්‍රියාකාරකම්වලට  සහභාගි වීම.

අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (58) "ගොඵ" වූ වයස්ගත "හදවත්" ගැන පර්යේෂණ කරමු



1.      මිසිසාගා පන්සලේ දැන්වීම් පුවරුවක, සිංහල සහ ඉංග්‍රීසි දෙබසින්  තිබූ දැන්වීමකි. වයස්ගත වූවන් පිළිබඳ පර්යේෂණ ධාරාව අනුව, දර්ශනසූරි උපාධිය සඳහා කරන්නට යෝජිත පර්යේෂණයකට, දත්ත සැපයීම සඳහා. වයස්ගත වූවන්ගෙන් කරන ආරාධනාවක් එහි වේ. සංසිද්ධිවිද්‍යා පර්යේෂණ (phenomenological research)  ක්‍රමය අනුව පර්යේෂණය කෙරෙයි.  ශ්‍රී ලංකාවේ ද වයස්ගත ජනගහනය වැඩි වන රටාවක් ඇති නිසා, වයස්ගත වූවන් පිළිබඳ පර්යේෂණ කිරීම අවශ්‍ය වේ.

2.      ගොඵ හදවත නවකතාවේ සුගත්-දම්මි අන්දරයට පසුබිම් වූ සත්‍ය කතාව ගැන, ගී පද රචක සුනිල් සරත් පෙරේරා (2013 ජනවාරි 18 වන දින දිනමිණ පුවත්පතට ලියූ  ලිපියක්), කැනඩාවේ පළ වන  "යාත්‍රා"  යන සිංහල පත්‍රයේ 2018 ජූනි කලාපයේ නැවත පළ ව තිබේ. එහි "සැබෑ සුගත්", වයස්ගත කල ඔස්ට්‍රේලියාවේ හුදෙකලාව සිටි අයුරු ගැන සංවේදී ලෙස විස්තර වේ.  මෙවන් ලේඛන ද සන්ධාර විශ්ලේෂණ (content analysis) මෙන් ම මානව ක්‍රමවිද්‍යා පර්යේෂණ (ethnomethodology) ක්‍රම අනුව ද විශ්ලේෂණය කළ හැකි ය. 

3.      විදෙස් ගත වන වැඩිහිටියන් මුහුණ පාන අත්දැකීම් ගැන මෙන් ම, දරුවන් විදෙස් ගත වීම නිසා හුදෙකලා වන ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ අත්දැකීම් ද ගැන, "වයස්ගත වූවන් පිළිබඳ පර්යේෂණ සම්ප්‍රදාය" අනුව පර්යේෂණ කළ හොත් අගනේ ය. 







අධ්‍යාපන පර්යේෂණ මිතුරු ශෛලියෙන් (57) මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් - 2 හා 3 වන ලිපි


1.             මිශ්‍ර පර්යේෂණ වන්නේ හෝ නො වන්නේ මොනවා ද?
පර්යේෂණ ක්‍රමවිද්‍යාව අනුව, පර්යේෂණ ගැටලුවක් විසදිම සදහා සාක්ෂ්‍ය සපයනුයේ දත්තයි. දත්ත පර්යේෂණයක 'හදවත' යයි සලකනු ලබනුයේ මෙනිසා ය. මා 1995 දී පළ කළ 'ඉන්දියාවේ අධ්‍යාපන චාරිකාවක් හා සබැදි ක්ෂේත්‍ර සඟරාව' යන කෘතියේ සඳහන් කළ අයුරු, "දත්ත පර්යේෂණයක 'හදවත'" යන අදහස අපට ලබා දුන්නේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර NCERT ආයතනයේ දී, එහි සැලසුම් කටයුතු භාර ව සිටි මහාචාර්ය කුල්දීප් කුමාර් ය.
දත්ත, කතාන්තර ශෛලිය සහිත ගුණාත්මක දත්ත හෝ සංඛ්‍යාත්මක වූ ප්‍රමාණාත්මක ලෙස වර්ග වන බව අපි දනිමු. 'ගැටලුවක් ගැන වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමට, එක් දත්ත වර්ගයක භාවිතයට වඩා, මේ දෙවර්ගයේ ම දත්ත භාවිතයෙන් හැකි වන්නේ ය' යනු මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම්වල මූලික කර්කයයි. එහෙත් හුදෙක් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත එකතු කර ඉදිරිපත් කිරීමක් පමණක් මිශ්‍ර පර්යේෂණයක් නො වන්නේ ය.
මෙහි දී, ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැනියන් විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ https://cirt.gcu.edu/research/developmentresources/research_ready/mixed_methods/ choosing_design යන වෙබ් පිටුවේ, ජෝන් ඩබ්ලිව් ක්‍රෙස්වෙල් (John W. Creswell) පෙන්වා දෙන, මිශ්‍ර පර්යේෂණවල මූලික ලක්ෂණ 4 සහ මිශ්‍ර පර්යේෂණ නො වන කරුණු 4 හඳුනා ගැනීම වැදගත් වේ. 

I.         මිශ්‍ර ක්‍රම පර්යේෂණවල මූලික ලක්ෂණ (4 key features)
  • පර්යේෂණ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දෙවර්ගයේ ම දත්ත එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීම.
  • දැඩි ව පරීක්ෂා කර (rigorous) සකස් කර ගත් ක්‍රම/ප්‍රවේශ භාවිත කිරීමෙන් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීම
  • සුවිශේෂී වූ මිශ්‍ර ක්‍රම පිරිසැලසුමක් භාවිතයෙන් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත  සංයෝගය (combine) සහ සමෝධානය (integration).
  • මිශ්‍ර ක්‍රම පිරිසැලසුම, පළල් වූ 'පර්යේෂණ ක්‍රමයක්  හෝ න්‍යායයක් හෝ දර්ශනයක් හෝ' පදනම් වූ පළල් රාමුවක් (framework) අනුව රාමුගත විය යුතු වීම.

II.      මිශ්‍ර ක්‍රම පර්යේෂණ නොවන්නේ මොනවා ද?
  • 'මිශ්‍ර පර්යේෂණ' යන නම භාවිත කළත්, දැඩි වූ (rigorous) පර්යේෂණ ක්‍රියාමාර්ග (procedure)  පදනම ලෙස භාවිත නොකිරීම; පර්යේෂණ ක්‍රියාමාර්ගය,  භූමිගත න්‍යාය වැනි මැනවින් සැලසුම් කළ / හෝ දැඩි  (rigorous) පර්යේෂණ ක්‍රමයකට අනුගත නොවීම. 
  • හුදෙක් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත  ඉදිරිපත් කිරීමක් පමණක් වීම.
  • සංයෝගයෙන්-මිශ්‍රණයෙන් තොර ව, හුදෙක් ගුණාත්මක සහ ප්‍රමාණාත්මක  දත්ත රැස් කර, වෙන් වෙන් ව ඉදිරිපත් කිරීම
  • බහුවිධ ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශ (උදා: සම්පරීක්ෂණ, සමීක්ෂණ)  මිශ්‍ර කිරීම හෝ බහුවිධ ගුණාත්මක පර්යේෂණ ප්‍රවේශ (උදා: සම්මුඛ සාකච්ඡා, නිරීක්ෂණ)  මිශ්‍ර කිරීම.

2.             මිශ්‍ර පර්යේෂණ  පිරිසැලසුම් වර්ගීකරණය
මිශ්‍ර පර්යේෂණ  පිරිසැලසුම් ගැන කරුණු ඉදිරිපත් කරන ලේඛකයන්, ඒවා නැවත වර්ග කිරීමට ද යත්න දරා තිබේ. ඒ අනුව, 1994, 2003 සහ 2012 වර්ෂවල ඉදිරිපත් වූ වර්ගීකරණ  තුනක් දැන් හඳුනා ගනිමු.  මේ එකිනෙක වර්ගීකරණය යටතේ දැක්වෙන පිරිසැලසුම්වල ලක්ෂණ, සමාන වන අවස්ථා තිබෙන නිසා, වර්ගීකරණ තුනෙහි පිරිසැලසුම්, එකිනෙක හා  සැසඳීමෙන් තේරුම් ගැනීමේ හැකියාව ද පවතියි.
1994 සිට මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් සංවර්ධනය වූ අයුරු ගැන ද ඔබට අවබෝධ කර ගන්නට හැකියාවක් ඇත. 


I.     පළමු වන වර්ගීකරණය
Mathews B. Miles සහ A. Michael Huberman, ප්‍රමාණාත්මක සහ ගුණාත්මක පර්යේෂණ සමෝධානය සඳහා පර්යේෂණ පිරිසැලසුම් හතරක්, 1994 දී පෙන්වා දී තිබේ (මූලාශ්‍රය: Uwe Flick, 2006, 26 වන පිටුව) (1 හා 2 වන රූප). ඒවා සරල ව සහ කෙටියෙන් මෙසේ ය.
·         ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රවේශ අනුව, දත්ත එක් වර-අඛණ්ඩ ව රැස් කරමින් පර්යේෂණයේ නියැළීමේ පිරිසැලසුම
·         ගුණාත්මක ප්‍රවේශය අනුව අඛණ්ඩ ව දත්ත රැස් කරන අතර, එමගින් ලබන අනාවරණ හෝ ප්‍රගණ්ඩන (hunch) හෝ කල්පිත (hypotheses) තහවුරු කර ගැනීමට, විටින් විට ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ද පර්යේෂණ කිරීම
·          පළමු ව ගුණාත්මක ප්‍රවේශය අනුව ගැටලුවක් ගැන ගවේෂණය කර ගොඩ නගා ගන්නා අනාවරණයක් තවදුරටත් පරික්ෂාවට ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ප්‍රශ්නාවලි සමීක්ෂණයක් කිරීම හෝ ගොඩ නගා ගන්නා කල්පිතයක් සත්‍ය දැයි පිරික්සීමට ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් සම්පරීක්ෂණ පර්යේෂණයක් කිරීම; අනතුරු ව එහි ප්‍රතිඵල තවදුරටත් විග්‍රහ කිරීමට නැවත ගුණාත්මක ප්‍රවේශය අනුව දත්ත රැස් කර පර්යේෂණයක් කිරීම
·         ඉහත තුන් වන පිරිසැලසුමේ ආකෘතියට සමාන නමුත් පළමු ව ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් සම්පරීක්ෂණයක් හෝ සමීක්ෂණ පර්යේෂණයක් කර, අනතුරු ව පිළිවෙළින් ගුණාත්මක ප්‍රෙව්ශයෙන් ද ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ද පර්යේෂණ කර ගෙන යාම.

11.     දෙ වන වර්ගීකරණය
ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්‍රෑන්ඩ් කැනියන් විශ්වවිද්‍යාලයයේ වෙබ් අඩවියේ https://cirt.gcu.edu/research/developmentresources/ research_ready/ mixed_ methods/ choosing_design යන පිටුව අනුව, ජෝන් ඩබ්ලිව් ක්‍රෙස්වෙල් John W. Creswell (2003) (Creswell, J. W., Plano Clark, V. L., Gutmann, M. L., & Hanson, W. E. (2003). Advanced mixed methods research designs. Handbook of mixed methods in social and behavioral research, 209-240.)  2003 දී ඉදිරිපත් කළ මිශ්‍ර පිරිසැලසුම් 6කි. මෙයින් මුල් තුන අනුක්‍රමික (Sequential) ය. එනම් එක් පර්යේෂණ ප්‍රවේශයකට පසු ව අනික් පර්යේෂණ ප්‍රවේශයෙන් දත්ත රැස් කරනු ලැබේ. ඉතිරි තුන සමගාමී (Concurrent) ය. එනම් එක් පර්යේෂණ ප්‍රවේශයකින් පර්යේෂණ කරන අතර ම අනික් පර්යේෂණ ප්‍රවේශයෙන් ද දත්ත රැස් කරමින් පර්යේෂණය කර ගෙන යා යුතු ය.
·       Sequential Explanatory Design – අනුක්‍රමික ව්‍යාඛ්‍යාත්මක (පැහැදිලි කිරීමේ) පිරිසැලසුම
·       Sequential Exploratory Design – අනුක්‍රමික ගවේෂණ පිරිසැලසුම   
·       Sequential Transformative Design – අනුක්‍රමික පරිණාමන පිරිසැලසුම   
·       Concurrent Triangulation Design – සමගාමී ත්‍රිකෝණීකරණ පිරිසැලසුම
·       Concurrent Nested (Embedded) Design – සමගාමී ගිල්ලවන/ ඔබ්බවන ලද පිරිසැලසුම
·       Concurrent Transformative Design – සමගාමී පරිණාමන පිරිසැලසුම
මේ එකිනෙක පිරිසැලසුම පිළිබඳ ව සරල ව හඳුනා ගනිමු. ඒ අතර ම එක් පිරිසැලසුමක් අනිකකට වෙනස් වන අයුරු ද තේරුම් ගනිමු.
·       Sequential Explanatory Designඅනුක්‍රමික ව්‍යාඛ්‍යාත්මක (පැහැදිලි කිරීමේ) පිරිසැලසුම
අවධි දෙකක දී පර්යේෂණය කර ගෙන යා යුතු පිරිසැලසුමක් සහිත මිශ්‍ර පර්යේෂණයකි.  ඒ අනුව පළමු ව (නැති නම් පළමු වන අවධියේ දී) ප්‍රමාණාත්මක ප්‍රවේශය අනුව දත්ත රැස් කරමින් පර්යේෂණය කළ යුතු ය (උදාහරණයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය වන පරිදි අහඹු ලෙස තෝරා ගත් 3 වන වර්ගයේ පාසල් 80ක නියැදියකින් ආරම්මනගත නියැදිකරණ ක්‍රමය අනුව සිටින සියලු 1 වන ශ්‍රේණියේ ගුරුවරුන් (100ක ගුරු නියැදියක් යයි සිතමු) පළ කරන ගුරු භූමිකාව පිළිබඳ  ව සමීක්ෂණ පර්යේෂණයක් කළ හැකි ය. ආවෘත ප්‍රශ්නාවලියක් සහ ව්‍යූහගත නිරීක්ෂණ පත්‍රිකාවක් භාවිතයෙන් දත්ත රැස් කර, දත්ත සංඛ්‍යාන විද්‍යාත්මක ව විශ්ලේෂණය කර අනාවරණ හඳුනා ගත යුතු ය.  ප්‍රමාණාත්මක පර්යේෂණයෙන් ලද අනාවරණ තවදුරටත් පැහැදිලි කර ගැනීම, අර්ථනිරූපණය කර ගැනීම සහ තහවුරු කර ගැනීම සඳහා දෙ වන පියවරේ දී ගුණාත්මක ප්‍රවේශය අනුව දත්ත රැස් කළ යුතු ය. එහි දී සමීක්ෂණයේ අනාවරණ තවදුරටත් පැහැදිලි කර, අර්ථනිරූපණය කර, තහවුරු කර ගැනීමට, ප්‍රමාණාත්මක ප්‍රවේශයේ දත්ත රැස් කිරීමටභාජනය කළ නියැදි සාමාජිකයන් උචිත පරිදි, සහභාගි වන්නන් ලෙස භාවිත කර,  විවෘත සම්මුඛ සාකච්ඡා, ව්‍යූහගත නො වන නිරීක්ෂණ හෝ නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා පදනම් වූ ගුණාත්මක පර්යේෂණයක් කළ යුතු ය. 
      
·      Sequential Exploratory Designඅනුක්‍රමික ගවේෂණ පිරිසැලසුම
අවධි දෙකක මේ පර්යේෂණ පිරිසැලසුමේ දී, පළමු ව, ගුණාත්මක ප්‍රවේශයෙන් ගුණාත්මක දත්ත රැස් කරනුයේ, දෙ වන අවධියේ දී කෙරෙන ප්‍රමාණාත්මක පර්යේෂණයේ දී දත්ත රැස් කිරීමට පදනම් වන පර්යේෂණ උපකරණ සංවර්ධනය කිරීමේ සහ ඒ සදහා ඇවැසි පර්යේෂණ රාමුව (research framework) ද රාමුවට අයත් විචල්‍ය (variables) ද නීර්ණය කිරීම සඳහා ය.  මහනුවර දිස්ත්‍රික්කයේ 3 වන වර්ගයේ පාසල්වල 1 වන  ශ්‍රේණියේ ගුරුවරුන්ගේ භූමිකාව හඳුනා ගැනීමට අදාළ උදාහරණය ම මෙහි දී ගනිමු. මේ තේමාවට අදාළ ව පෙර පර්යේෂණ දැනුම නැති නිසා හෝ පවතින දැනුම ප්‍රමාණවත් නො  වන නිසා හෝ පළමු ව ගුරුවරුන් 25 දෙනකුගේ පාඩම් 25ක් නිරීක්ෂණය කර (දත්ත සන්තෘප්ත බව (saturation) යන සංකල්පයට අනුව ගුරුවරුන් ගණන සහ පාඩම් ගණන වෙනස් විය හැකි ය)  ගුණාත්මක දත්ත රැස් කළ හැකි ය. අනතුරුව පාඩම් 25 පිළිබඳ ව විවෘත සම්මුඛ සාකච්ඡා කළ හැකි ය. ඒ පදනම අනුව ගුරු භූමිකාවට අදාළ නිර්ණායක හා විචල්‍ය හඳුනා ගෙන ඒ පාදක ව ව්‍යූහගත ප්‍රශ්නාවලියක් සකස් කර ගුරුවරුන් 100ක් හෝ 200ක නියැදියකට හෝ (උචිත වනුයේ මහනුවර දිස්ත්‍රික්කයට සාමාන්‍යකරණය කළ හැකි දත්ත ලබා දෙන ගුරු නියැදියකි)  ලබා දී, ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් සමීක්ෂණයක් කර ගුරු භූමිකාවට අදාළ ලක්ෂණ ගවේෂණය කළ හැකි ය.
මේ අනුව පළමු ව විග්‍රහ කළ, අනුක්‍රමික ව්‍යාඛ්‍යාත්මක පිරිසැලසුම අනුව, දෙ වන අවදියේ දී ගුණාත්මක ප්‍රවේශය භාවිත කරනුයේ පැහැදිලි කිරීමේ අරමුණක් සහිත ව ය. මෙහි දී, එනම්  අනුක්‍රමික ගවේෂක පිරිසැලසුම අනුව, පර්යේෂණයේ දෙ වන අවදියේ දී ප්‍රමාණාත්මක ප්‍රවේශය භාවිතයෙහි ඇත්තේ වැඩිදුරටත්  ගවේෂණය කිරීමේ අරමුණකි.

·      Sequential Transformative Design අනුක්‍රමික පරිණාමන පිරිසැලසුම 
මෙය ද අවධි දෙකක පිරිසැලසුමකි. එහෙත් පර්යේෂක සතු සහ පර්යේෂණ ගැටලුවට අදාළ න්‍යාත්මක පසුබිම ද දර්ශනය ද පර්යාලෝකය ද අනුව පර්යේෂණයේ ගමන් මග ද දත්ත රැස් කරන පිළිවෙළ ද පැහැදිලි කර ගත හැකි ය; තීරණය කර ගත හැකි ය.  හෙවත් පළමු ව කරනුයේ ප්‍රමාණාත්මක ප්‍රවේශය පාදක පර්යේෂණය ද ගුණාත්මක ප්‍රවේශය පාදක පර්යේෂණය ද යනු තීරණය වනුයේ පර්යේෂණයට සම්බන්ධ පසුබිම අනුව ය. මේ අනුව තෝරා ගත් අනුපිළිවෙළින් ප්‍රවේශ දෙක අනුව දත්ත රැස් කර අවසන් ව, පියවර දෙකේ ම දත්ත සමෝධානය කරමින් අර්ථකථනය කරනු ලැබේ.
උදාහරණයක් වසයෙන් "ස්වකීය වෘත්තීය භූමිකාව පිළිබඳ ව ගුරුවරුන්ට පවතින තෘප්තිය" පිළිබඳ පර්යේෂණයක් කරන පර්යේෂකයකුට, මේ තේමාව පිළිබඳ ව දේශීය මෙන් ම විදේශීය  පර්යේෂණ අනාවරණ ද න්‍යාය ද පවතින බව දක්නට ලැබේ නම්, ඒ පදනම මත හඳුනා ගත් න්‍යායයක් පදනම් කර ගෙන, ශ්‍රී ලාංකික වර්තමාන පරිසරයෙහි රටා හඳුනා ගැනීමට, ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් පළමු ව දත්ත රැස් කළ හැකි ය. අනතුරු ව ප්‍රමාණාත්මක ප්‍රවේශයේ පර්යේෂණයෙන් ලද අනාවරණ පිළිබඳ ව, ශ්‍රී ලාංකික පරිසරයට අදාළ ගුරු පර්යාලෝක තවදුරටත් පැහැදිලි කර හඳුනා ගැනීමට, ගුණාත්මක ප්‍රවේශයෙහි පර්යේෂණයකින් දත්ත රැස් කළ හැකි ය. 
තවත් උදාහරණයක් අනුව ශ්‍රී ලංකාවේ ගුරුවරුන් ව පාසල්වල අධීක්ෂණය වන අයුරු පිළිබඳ ව පර්යේෂණ අනාවරණ ද න්‍යාය ද නො පවතී නම්, මේ ක්ෂේත්‍ර පිළිබඳ මූලික අදහස් ජනනය කර ගැනීමට ගුණාත්මක පර්යේෂණයකින් අදාළ දත්ත රැස් කළ හැකි ය. අනතුරු ව ගුණාත්මක පර්යේෂණයෙන් හෙළි වන ලක්ෂණ, විචල්‍ය සහ රටා, ශ්‍රී ලංකාවේ සංගහනයකට සාමාන්‍යකරණය කළ හැකි දැයි නිශ්චය කර ගැනීමට ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් පර්යේෂණයක් කළ හැකි ය. 

·       Concurrent Triangulation Design – සමගාමී ත්‍රිකෝණීකරණ පිරිසැලසුම    
පර්යේෂණ ගැටලුවකට සහ එයින් සුවිශේෂි කර ගත් පර්යේෂණ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ප්‍රවේශ දෙකින් ම එක් පියවරක දී එක් වර (සමගාමී ව), එහෙත් වෙන වෙන ම,  දත්ත රැස් කරනු ලැබේ. රැස් කරන දත්ත ගොනු (data sets) දෙක, වෙන වෙන ම විශ්ලේෂණය කර ලැබෙන අනාවරණ අනතුරු ව සසඳනු ලැබේ. සැසඳීම අනුව ප්‍රවේශ දෙකින් ම ලැබෙනුයේ සමාන අනාවරණ ද නැතිනම් ප්‍රතිවිරුද්ධ අනාවරණ  දැයි විමසනු ලැබේ. දත්ත ගොනු දෙක ඍජු ව එකිනෙක හා සැසඳීම නිසා දත්ත මූලාශ්‍රයවලට අභිසාරි ලක්ෂණය හිමි වේ.
එක් ආකාරයකින් රැස් කරන දත්තවල, නැති නම් එක් ප්‍රවේශයක ඇති අඩුපාඩු අනික් විධි ක්‍රමයෙන්/ ප්‍රවේශයෙන් ලැබෙන දත්තවලින් ශක්තිමත් කරලීම, මේ පිරිසැලසුම සදහා වන මූලික තාර්කිකයයි. ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ප්‍රවේශ දෙකින් ලබන දත්ත හා අනාවරණ හරස් පරීක්ෂාවට (cross validate) ද මේ මගින් හැකි වේ. ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක දත්ත ද රැස් කිරීමෙන්,  පර්යේෂණ ගැටලුව ගැන වඩා සම්පූර්ණ අවබෝධයක් ද ලැබිය හැකි ය.
(පහත සඳහන් කරන තුන් වන වර්ගීකරණය යටතේ ක්‍රෙස්වෙල් (2012) දක්වන පිරිසැලසුම් 6න්, පළමු වැන්න වන  "The convergent parallel/concurrent design අභිසාරී සමගාමී පිරිසැලසුම", යන පිරිසැලසුම යටතේ ඇති විස්තරය ද බලන්න).

·       Concurrent Nested (Embedded) Design – සමගාමී ගිල්ලවන/ ඔබ්බවන ලද පිරිසැලසුම
මේ මිශ්‍ර ක්‍රම පිරිසැලසුමේ දී, එක් පර්යේෂණ පියවරක් පමණක් ක්‍රියාත්මක වේ. එම පියවරේ දී එක් පර්යේෂණ ප්‍රවේශයක් ප්‍රධාන කොට පර්යේෂණය අඛණ්ඩ ව කර ගෙන යනු ලැබේ. එසේ එක් ප්‍රවේශයක් පදනම් ව පර්යේෂණය කර ගෙන යන අතර, ලැබෙන නව දැනුම සහ අවබෝධය අනුව, විටින් විට, අනික් ප්‍රවේශය ද භාවිතයෙන් දත්ත රැස් කරමින්, පළමු ප්‍රවේශයේ පර්යේෂණයට විවිධ අවස්ථාවල සම්බන්ධ කර ගනු ලැබේ. පර්යේෂණ අනාවරණවල ශක්තිමත්භාවයට සහාය ද කර ගනු ලැබේ.
උදාහරණයක් ලෙස ගුරුවරුන් විසින් පන්ති කාමරයේ දී  භාවිත කරනු ලබන ක්‍රම පිළිබඳ ව ගුණාත්මක ව දත්ත රැස් කර ගෙන යන අතර, මේ සම්බන්ධ ගුරු ආකල්ප ද හැදින ගැනීම උචිත යැයි පර්යේෂකට හැඟුණු විට, ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ ගුරු ආකල්ප මිණුමට ප්‍රමාණාත්මක වූ ආකල්ප පරිමාණයක් භාවිත කළ හැකි ය.
මේ පිරිසැලසුම, මයිල්ස් සහ හ්‍යුබර්මන් පෙන්වූ පිරිසැලසුම් හතරින්, (ඉහත සඳහන් කළ), දෙ වන පිරිසැලසුමට සමාන ලක්ෂණ පෙන්වයි. එසේ ම මීළඟට විස්තර වෙන ක්‍රෙස්වෙල් (2012) පෙන්වූ හතර වන  පිරිසැලසුම වූ The embedded design ඔබ්බවන/ ගිල්ලවන ලද පිරිසැලසුමට සමාන ය.

·       Concurrent Transformative Design සමගාමී පරිණාමන පිරිසැලසුම   
අනුක්‍රමික පරිණාමන පිරිසැලසුමේ දී සඳහන් කළ පරිදි, පර්යේෂක සතු න්‍යායාත්මක පසුබිම ද දර්ශනය ද පර්යාලෝකය ද අනුව පර්යේෂණයේ ගමන් මග පැහැදිලි කර ගත හැකි නමුත් දත්ත රැස් කර අර්ථකථනය කරනු ලබනුයේ,  අනුක්‍රමික පරිණාමන පිරිසැලසුමේ දී කරන්නාක් මෙන් එක් ප්‍රවේශයකට පසු ඊළඟ ප්‍රවේශය භාවිතයෙන් නො ව,  සමාන්තර ව එක් වර මය.



III    වන වර්ගීකරණය
මිශ්‍ර ක්‍රම පිළිබද කරුණු දක්වන ජෝන් ක්‍රෙස්වෙල් John W. Creswell (2012) Educational Research: Planning, conducting and evaluating quantitative and qualitative research. 4th ed.  Boston: Pearson. පෙන්වා දෙන මිශ්‍ර ක්‍රම පිරිසැලසුම් (designs) 6ක් මෙසේ ය. මෙයින් මුල් පිරිසැලසුම් හතර  මූලික ය. ඉතිරි දෙක වඩා සංකීර්ණ ය.
·      The convergent parallel/concurrent design අභිසාරී සමගාමී පිරිසැලසුම (සමගාමී ව එක්තැන් කිරීමේ පිරිසැලසුම
·      The explanatory sequential design පැහැදිලි කිරීම මුල් වූ අනුක්‍රමික පිරිසැලසුම
·      The exploratory sequential design ගවේෂණය මුල් වූ අනුක්‍රමික පිරිසැලසුම
·      The embedded design  ඔබ්බවන/ ගිල්ලවන ලද පිරිසැලසුම
·      The transformative design පරිණාමන පිරිසැලසුම
·      The multiphase design බහු පියවර පිරිසැලසුම

මේ එකිනෙක පිරිසැලසුම්වල අදාළ මූලික ආකෘති, ක්‍රෙස්වෙල් විසින් දක්වනු ලැබ ඇති ආකාරය 4 වන රූපයේ දැක්වේ.
·      අභිසාරී සමගාමී මිශ්‍ර පිරිසැලසුම The convergent parallel/concurrent design
පර්යේෂණ ගැටලුවකට සහ එයින් සුවිශේෂි කර ගත් පර්යේෂණ ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ප්‍රවේශ දෙකින් ම එක් පියවරක/ පාර්ශ්වයක (one phase) දී එක් වර හෙවත් සමගාමී ව, එහෙත් වෙන වෙන ම,  දත්ත රැස් කරනු ලැබේ. රැස් කරන දත්ත ගොනු (data sets) දෙක, වෙන වෙන ම විශ්ලේෂණය කර ලැබෙන අනාවරණ අනතුරු ව සසඳනු ලැබේ. සැසඳීම අනුව ප්‍රවේශ දෙකින් ම ලැබෙනුයේ සමාන අනාවරණ ද නැතිනම් ප්‍රතිවිරුද්ධ අනාවරණ  දැයි විමසනු ලැබේ. දත්ත ගොනු දෙක ඍජු ව එකිනෙක හා සැසඳීම නිසා දත්ත මූලාශ්‍රයවලට අභිසාරි ලක්ෂණය හිමි වේ.
එක් ආකාරයකින් රැස් කරන දත්තවල, නැති නම් එක් ප්‍රවේශයක ඇති අඩුපාඩු අනික් විධි ක්‍රමයෙන්/ ප්‍රවේශයෙන් ලැබෙන දත්තවලින් ශක්තිමත් කරලීම, මේ පිරිසැලසුම සදහා වන මූලික තාර්කිකයයි. ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක ප්‍රවේශ දෙකින් ලබන දත්ත හා අනාවරණ හරස් පරීක්ෂාවට (cross validate) ද මේ මගින් හැකි වේ. ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක දත්ත ද රැස් කිරීමෙන්,  පර්යේෂණ ගැටලුව ගැන වඩා සම්පූර්ණ අවබෝධයක් ද ලැබිය හැකි ය. පුද්ගලයන් ටික දෙනකුගෙන් ලබා ගන්නා  ගුණාත්මක දත්තවල තිබිය හැකි අඩුපාඩු සපුරාලන්නට, වැඩි පුද්ගලයන් සංඛ්‍යාවකගෙන් ව්‍යූහගත දත්ත රැස් කිරීමේ උපකරණවලින් රැස් කර ගන්නා ප්‍රමාණාත්මක දත්තවලට හැකි ය. ඒ ආකාරයෙන් ම ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීම්වල දී, ප්‍රතිචාර දක්වන නියැදි සාමාජිකයන්ගේ ප්‍රතිචාරවලට පදනම් වු පසුබිම් සාධක/කරුණු සවිස්තරාත්මක ව නො ලැබෙන විටක, (උදා- ඔබ පාසලේ විදුහල්පතිගේ අධීක්ෂණ භූමිකාව පිළිබඳ ව සතුටු වන්නේ ද? දැඩි ව සතුටු වෙමි....... සතුටු වෙමි.......මධ්‍යස්ථයි........ සතුටු නො වෙමි....... කිසිසේත් සතුටු නො වෙමි....... යන පැණයට ලැබෙන ප්‍රමාණාත්මක  ප්‍රතිචාරයෙන්, පිළිතුරට පදනම් වූ කරුණු ගැන  අදහසක් නො ලැබේ) අමතර දත්ත රැස් කිරීම සඳහා පාසලට පිවිස, සබැදියාව ගොඩ නඟා ගෙන, විවෘත සම්මුඛ සාකච්ඡා හෝ ව්‍යූහගත නො වන නිරීක්ෂණයෙන් ගුණාත්මක දත්ත රැස් කළ යුතු ය.
තවත් උදාහරණයක් බලමු. ශ්‍රී ලංකාවේ 6 වන ශ්‍රේණියේ ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ ගණිත සාධනයේ රටා හඳුනා ගැනීම සඳහා වන පර්යේෂණයක දී, ශිෂ්‍යශිෂ්‍යාවන්ට පිළිතුරු දීමට දෙන ගණිතය ප්‍රශ්න පත්‍රයකින් ද ගණිත සාධනයේ රටා ගැන ගුරුවරුන්ට සහ දෙමාපියන්ට දෙන ව්‍යූහගත ප්‍රශ්නාවලියකින් ද ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් දත්ත රැස් කර, විස්තරාත්මක සහ අනුමිතික සංඛ්‍යාන ක්‍රමවලින්  එම දත්ත විශ්ලේෂණය කරනු ලැබේ. මේ සඳහා වන නියැදිය, 6 වන ශ්‍රේණියේ ශිෂ්‍යශිෂ්‍යාවන් සහ ගුරුවරුන්-දෙමාපියන් සංගහනය නියෝජනය වන පරිදි තෝරා ගත යුතු ය.
ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ඒ අයුරින් දත්ත රැස් කරන අතර ම, සමාන්තර ව,   6 වන ශ්‍රේණියේ ගණිතය පාඩම් නිරීක්ෂණයෙන් ද ගුරුවරුන් හා දෙමාපියන් සමග විවෘත සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් ද ගුණාත්මක දත්ත ලබා ගෙන, එම දත්ත ගුණාත්මක ප්‍රවේශය අනුව උද්ගාමී ව විශ්ලේෂණය කර, ගණිත සාධනයේ රටා ගුණාත්මක දත්ත පදනමින් ද හඳුනා ගත හැකි ය. නිරීක්ෂණය කළ යුතු පාඩම් ගණන ද සම්මුඛ සාකච්ඡාවට භාජනය කරන ගුරුවරුන් හා දෙමාපියන් ගණන ද තීරණය විය යුත්තේ "රැස් වන දත්තවලින්, නැවත දත්ත රැස් කිරීම අවශ්‍ය නො වේ. දැනට රැස් කළ දත්තවලින් පන්තිකාමර පාඩම් ගැන ද ගුරු දෙමාපිය අදහස් ගැන ද තවත් අදහස් රැස් කිරීම අවශ්‍ය නැත" යන සංතෘප්ත බව (Saturation) පර්යේෂකට ඇති වූ විට ය. දත්ත සංතෘප්ත බව පර්යේෂකට ඇති වන විට, නිරීක්ෂණ, ගුරු හා දෙමාපිය සම්මුඛ සාකච්ඡා යන දත්ත රැස් කිරීමේ ක්‍රම තුනින් ලැබෙන දත්ත, ත්‍රිකෝණීකරණය කර සමාන රටා පවතී දැයි පරීක්ෂා කළ හැකි ය.
     මෙසේ ප්‍රවේශ දෙකින් ම, පර්යේෂණ ගැටලුවට අදාළ ව සමගාමී ව දත්ත රැස් කර, දත්ත වෙන වෙන ම විශ්ලේෂණය කළ පසු ලැබෙන අනාවරණ, අනතුරු ව සසඳා බැලිය යුතු ය; පර්යේෂණ ගැටලුව සහ එයින් සුවිශේෂි කර ගත් පර්යේෂණ ප්‍රශ්නවලට අදාළ ව අර්ථකථනය ද කළ යුතු ය.

·      පැහැදිලි කිරීම මුල් වූ අනුක්‍රමික මිශ්‍ර පිරිසැලසුම The explanatory sequential design
පාර්ශ්ව හෙවත් පියවර (phases) දෙකක පර්යේෂණ ආකෘතියකි  (two-phase model). හෙවත් අවධි දෙකක පිරිසැලසුමක් සහිත මිශ්‍ර පර්යේෂණයකි.  ඒ අනුව පළමු ව ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් පර්යේෂණ ගැටලුව හෝ අරමුණුවලට අදාළ සාමාන්‍ය චිත්‍රය (general picture) හදුනා ගනු ලැබේ. සාමාන්‍ය චිත්‍රය, පිරිපහදු කිරීමටත් (to refine), ව්‍යාප්ත කිරීමටත් (extend), පැහැදිලි කිරීමටත් (explain) අනතුරු ව ගුණාත්මක දත්ත රැස් කරනු ලැබේ.
ඒ අනුව පළමු ව (නැති නම් පළමු වන පියවරේ දී) ප්‍රමාණාත්මක ප්‍රවේශය අනුව පර්යේෂණය කළ යුතු ය (උදාහරණයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය වන පරිදි, අහඹු ලෙස තෝරා ගත් 3 වන වර්ගයේ පාසල් 80ක නියැදියකින්, 1 වන ශ්‍රේණියේ ගුරුවරුන් 100ක නියැදියක් ද අහඹු ව තෝරා ගෙන, ගුරුවරුන් පළ කරන භූමිකාව පිළිබඳ  ව සමීක්ෂණ පර්යේෂණයක් කළ හැකි ය. ආවෘත ප්‍රශ්නාවලියක් සහ ව්‍යූහගත නිරීක්ෂණ පත්‍රිකාවක් භාවිතයෙන් දත්ත රැස් කර, සංඛ්‍යාන විද්‍යාත්මක ව විශ්ලේෂණය කළ යුතු ය. අනාවරණ හඳුනා ගත යුතු ය.) ප්‍රමාණාත්මක පර්යේෂණයෙන් ලද අනාවරණ තවදුරටත් පැහැදිලි කර ගැනීම, අර්ථනිරූපණය කිරීම සහ තහවුරු කර ගැනීම සඳහා, දෙ වන පියවරේ දී ගුණාත්මක ප්‍රවේශය අනුව දත්ත රැස් කළ යුතු ය. එහි දී සමීක්ෂණයේ අනාවරණ තවදුරටත් පැහැදිලි කර, අර්ථනිරූපණය කර, තහවුරු කර ගැනීමට, උචිත පරිදි,  විවෘත සම්මුඛ සාකච්ඡා, ව්‍යූහගත නො වන නිරීක්ෂණ හෝ නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා පදනම් වූ ගුණාත්මක පර්යේෂණයක් කළ යුතු ය. ඒ සඳහා ප්‍රමාණාත්මක පර්යේෂණය සඳහා භාවිත කළ නියැදියෙන් කුමන පාර්ශ්ව සහභාගිවන්නන් ලෙස තෝරා ගත යුතු ද? කුමන ආකාරයෙන් ඔවුන්ගෙන් දත්ත රැස් කළ යුතු ද? යන කරුණු ගැන විශේෂයෙන් සිතිවිලි යොමු කළ යුතු ය.   
     අවසන, පාර්ශ්ව හෙවත් පියවර දෙකේ ම අනාවරණ අර්ථනිරූපණය කළ යුතු ය. ඒ අනුව පර්යේෂණ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය හැකි ය.
                                                      
·      ගවේෂණය මුල් වූ අනුක්‍රමික මිශ්‍ර පිරිසැලසුම   The sequential exploratory design
ඉහත විස්තර කළ, පැහැදිලි කිරීම මුල් වූ අනුක්‍රමික මිශ්‍ර පිරිසැලසුමෙහි දී පළමු ව ප්‍රමාණාත්මක දත්ත රැස් කර දෙවනු ව  ගුණාත්මක දත්ත රැස් කළ ද මේ පිරිසැලසුම් දී වනුයේ පළමු ව ගුණාත්මක දත්ත රැස් කර දෙවනු ව ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීමයි. මේ පිරිසැලසුමේ තර්කය වනුයේ පළමු ව ගුණාත්මක දත්ත රැස් කිරීමෙන්, කිසියම් සංසිද්ධියක් (Phenomena) ගවේෂණයට ලක් කිරීමයි. ඒ අනුව සංසිද්ධිය පිළිබඳ ව හඳුනා ගන්නා සම්බන්ධතා පැහැදිලි කිරීමට ද නිශ්චය කිරීමට ද දෙවනු ව ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් දත්ත රැස් කරනු ලැබේ.
 මේ පිරිසැලසුම් අනුව පර්යේෂණයක් කිරීමේ දී කිසියම් සංසිද්ධියක් (උදාහරණ වශයෙන් ගුරුවරුන්ගේ රැකියා තෘප්තිය, පාසල්වල අධීක්ෂණය පිළිබඳ ව ගුරුවරුන්ගේ සංජානන) පළමු ව ගුණාත්මක ප්‍රවේශයෙන් ගවේෂණය කරනු ලැබේ. එමගින් එම සංසිද්ධියට අදාළ තේමා හඳුනා ගනු ලැබේ. දෙවනුව එම තේමා පදනම් කර ගෙන ව්‍යූහගත  ප්‍රශ්නාවලියක් හෝ නිරීක්ෂණ පත්‍රිකාවක් සංවර්ධනය කර එමගින් ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් දත්ත රැස් කරනු ලැබේ. මේ අනුව ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් ලබා ගන්නා අවසාන මිනුම්වලට හෙවත් නිගමනවලට ගුණාත්මක ප්‍රවේශයෙන් සහභාගි වන්නන් ලබා දුන් දත්ත ද පදනමක් සපයයි. මේ පිරිසැලසුමේ ශක්තියට ද එය හේතුවකි.
පර්යේෂකයකු කිසියම් පර්යේෂණයක් අරඹන විට එම පර්යේෂණය පිළිබඳ ව ප්‍රමාණවත් පෙර පර්යේෂණ, පර්යේෂණ සාහිත්‍යය පදනම් කර ගෙන සොයා ගත නො හැකි නම් සහ, පර්යේෂණයට නාභිගත කර ගන්නා සංගහනයට අදාළ ව පවතින පර්යේෂණ උපකරණ සහ  විචල්‍ය ගැන දැනුම්වත් භාවයක් නැති නම් ද මේ ප්‍රවේශයෙන් පර්යේෂණය කර ගෙන යා හැකි ය. මේ අනුව පර්යේෂණයේ පාර්ශ්ව (phases) දෙකක් පවතී.

·      ගිල්ලවන/ඔබ්බවන ලද මිශ්‍ර පිරිසැලසුම The embedded design 
මෙතෙක් සාකච්ඡා කළ පිරිසැලසුම්වල පරිදි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක දත්ත සමාන්තර ව හෝ එකිනෙකට එකක් පසු ව හෝ සමාන වැදගත්කමින් යුතු ව රැස් කළත්,  මේ පිරිසැලසුමෙහි ලක්ෂණය වනුයේ, එක් ආකාරයක දත්ත අනිත් ආකාරයේ දත්තවලට සපයනුයේ සහාය සේවාවක් වීමයි. එක් ආකාරයකින් රැස්කළ දත්ත තවදුරටත් උද්දීපනය කිරීමට හෝ ඒවාට සහාය වීමට, අනිත්  ආකාරයේ දත්ත රැස් කරනු ලැබේ. උදාහරණයක් වසයෙන් ප්‍රමාණාත්මක ප්‍රවේශයට අයත් සම්පරීක්ෂණ පර්යේෂණයක් කරන විට, සම්පරීක්ෂණ ප්‍රතිකාරය ලබන සම්පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන්, ලබන ප්‍රතිකාරයේ දී ඇති වන හැඟීම් ගැන දත්ත රැස් කිරීමට, ගුණාත්මක ප්‍රවේශය භාවිත කළ හැකි ය. ඒ සඳහා ප්‍රතීකාරය ලබන අයට, තම හැඟීම් ලියන්නට දින පොත් ලබා දිය හැකි ය.  එසේ ම ප්‍රමාණාත්මක සම්පරීක්ෂණ පර්යේෂණයේ දී ප්‍රතිකාරය හෙවත් මැදිහත් වීම කෙතරම් ඵලදායි දැයි මැන බැලීමට, ප්‍රතිකාරයට පෙර සහ පසු ගුණාත්මක දත්ත රැස් කර, පර්යේෂණ නියැදියේ අදහස් ඉස්මතු කර ගත හැකි ය. ඒවා අනතුරු ව සැසදිය හැකි ය.
අනෙක් අතට සම්පරීක්ෂණයේ දී කළ යුතු මැදිහත් වීම හෙවත් ප්‍රතිකාරය, වඩා හොදින් සැලසුම් කිරීමට ද, මැදිහත් වීමට පෙර රැස් කරන ගුණාත්මක දත්තවලින් ලබන අදහස් භාවිත කළ හැකි ය. එසේ ම  සම්පරීක්ෂණ මැදිහත් වීම කරන අතර, සම්පරීක්ෂණ ප්‍රතීකාරයට භාජන වන අයට දිනපොතක් නඩත්තු කිරීමට උපදෙස් දීමෙන් ද ගුණාත්මක දත්ත රැස් කිරීමේ හැකියාව ඇත.
තවත් උදාහරණයක් ගත හොත්, සහසම්බන්ධන පර්යේෂණයක දී (Correlation research) ප්‍රමාණාත්මක ප්‍රවේශයෙන් සහසම්බන්ධතාව පරික්ෂා කළ ද එම සම්බන්ධතාවට හේතු සහ සම්බන්ධතාව සඳහා බලපෑ කරුණු ගැඹුරින් සොයා බැලීමට ගුණාත්මක දත්ත රැස් කළ හැකි ය.
මේ පිරිසැලසුමේ දී ද ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රවේශ දෙකින් පර්යේෂණ කිරීම සඳහා වෙන වෙන ම පර්යේෂණ ප්‍රශ්න ගොඩ නැගිය යුතු ය. 2007 Harrison කළ පර්යේෂණයක් අනුව (Harrison, A. (2007). Relationship-building in an undergraduate leadership program in teacher education. Unpublished doctoral dissertation, University of Nebraska–Lincoln.) ගුරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපාධි අපේක්ෂකයන්ට පැවති උපදේශන වැඩසටහනක් ගැන කළ සහසම්බන්ධන පර්යේෂණයක දී උපදේශක සහ උපාධි අපේක්ෂකයින් 18 දෙනකු අතර ඇති සම්බන්ධතාව, අවුරුදු දෙකක් ප්‍රමාණාත්මක පර්යේෂණ ප්‍රවේශයට අනුව සංවර්ධනය කළ ඉන්වෙන්ටරියක් මගින් මිනුමට ලක් කරන ලදී.  6 වරක් මිනුම් කළ නිසා අන්වායාම අධ්‍යයනයක් සතු ලක්ෂණ ද ඊට ඇතුළත් ය. පර්යේෂණයේ දී උපදේශක හා උපාධි අපේක්ෂකයින් අතර ධනාත්මක සම්බන්ධතා ගොඩ නැගීමට අදාළ වූ කරුණු හඳුනා ගැනීමේ අරමුණින් ගුණාත්මක දත්ත ලබා ගැනීමට, නාභිගත කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා ද අමතර ව පවත්වන ලදී.

·      පරිණාමන මිශ්‍ර පිරිසැලසුම The transformative design
පරිණාමන මිශ්‍ර පිරිසැලසුමෙහි දී, මෙතෙක් සාකච්ඡා කළ පිරිසැලසුම් හතර ම භාවිතයට ගත හැකි නමුත් එම පිරිසැලසුම් පරිණාමන රාමුවක් (Framework) හෙවත් කාචයක් (lens) අනුව මෙහෙයවිය යුතු ය. හෙවත් පර්යේෂණ ක්‍රියාදාමය පරිණාමනය විය යුතු අයුරු පෙන්වන රාමුව, පිරිසැලසුම යා යුතු මග පෙන්වන කාචයක් සේ ක්‍රියා කරනු ලැබේ. රාමුව පදනම් කර ගෙන, පර්යේෂණයේ සමස්ත පරමාර්ථයත් පර්යේෂණ ප්‍රශ්නත් දත්ත රැස් කරන ආකාරයත් ප්‍රතිඵලත් විග්‍රහ කරනු ලැබේ.
රාමුව මගින් කරනුයේ තෝරා ගත් සමාජ කණ්ඩායමකට අදාළ සුවිශේෂී රාමුවක් සකස් කිරීමයි. උදාහරණ වශයෙන් ස්ත්‍රීවාදය, ජාතිවාදය, වර්ගවාදය, විශේෂ අවශ්‍යතා සහිත ළමයි, සමලිංගික කණ්ඩායම් යන සුවිශේෂී ක්ෂේත්‍රවලින් එකක් රාමුවක් වසයෙන් ගෙන, එම රාමුවට අදාළ ව පර්යේෂණ ප්‍රශ්න ගොඩ නගා, උචිත පිරිසැලසුමත් මගින් පර්යේෂණය කළ හැකි ය.
ශ්‍රී ලංකාවේ සන්දර්භය ගත හොත්, තේවතුවල වැඩකරන ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ව පවතින සුවිශේෂී ලක්ෂණ පදනම් කර ගෙන, එය ආකෘතියක්/රාමුවක් වසයෙන් ගෙන මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුමකින් පර්යේෂණයක් කළ හැකි ය. තවත් උදාහරණයක් ගත හොත් මව හෝ පියා විදේශ ගත වීම, දික්කසාද වීම, වෙන් වීම යන ශ්‍රී ලාංකික සන්දර්භයේ නව ප්‍රවණතාව නිසා, එම රාමුවට අදාළ ව, තනි මාපිය පවුල්වල (Single parent family) ළමයින්ගේ අධ්‍යාපනය කෙබඳු ආකාර වන්නේ ද යනු හඳුනා ගැනීමට මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් භාවිතයෙන් පර්යේෂණයක් කළ හැකි ය.

·      බහු පියවර මිශ්‍ර පිරිසැලසුම The multiphase design
බහු පියවර පිරිසැලසුම සඳහා පදනම් වනුයේ මහා පරිමාණ පර්යේෂණ ව්‍යාපෘති වේ. රටවල් ගණනාවක් එකතු වී කරන තනි පර්යේෂණයක් (උදා- ආසියානු රටවල ගණිතය හෝ භාෂා විෂයය පිළිබඳ සමාලෝචනයක්; අධ්‍යාපනය සහ රැකියා වෙළෙඳ පොළ අතර සම්බන්ධය සකස් විය යුතු අයුරු)  මෙන් ම එක් රටක විවිධ පර්යේෂණ හැකියා සහිත කණ්ඩායම් එකතු වී,  විවිධ ගැටලු හඳුනා ගැනීම පදනම් කර ගත් පර්යේෂණ සමූහයක් එක් ව්‍යාපෘතියක් ලෙස ගෙන පර්යේෂණයේ නියැළීම මෙහි දී අදහස් වේ. මේ අනුව මුලින් ම විස්තර කළ පිරිසැලසුම් හතර ම පර්යේෂණ ගැටලුවට පිළිතුරු සොයා යන පර්යේෂකයන්ට, වෙන් වෙන් පර්යේෂණ වසයෙන්, නමුත් පොදු පරමාර්ථයක් ඇති ව භාවිත කළ හැකි ය.
මේ පිළිබඳ  ව ශ්‍රී ලංකාවේ 2007 දී කළ පර්යේෂණයක් ‍ක්‍රෙස්වෙල් විසින් උපුටා දක්වනු ලැබ තිබේ. එම පර්යේෂණයට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරියක සේ සේවය කළ ආචාර්ය අශෝකා ජයසේන සම්බන්ධ වීම ගැන ද විශේෂයෙන් සදහන් කළ යුතු ය. වර්ෂ කිහිපයක්, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුනක පර්යේෂකයන් 6 දෙනකු සම්බන්ධ වී කළ පර්යේෂණයකි.
 ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ළමයින් සදහා උචිත වන සේ, මානසික සෙෘඛ්‍ය සංරචක පිළිබඳ ව, සංස්කෘතිය පාදක නිර්වචන සම්පාදනය සඳහා වූ පර්යේෂණයකි.  මීට අදාළ පර්යේෂණ වැඩසටහනේ විවිධ පියවරවල  දී මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් පහක් භාවිත කර තිබේ.  අන්තර්ජාලයේ (http://journals.sagepub.com/doi/abs/10.1177/1558689806298181) ඇති පර්යේෂණයේ සාරාංශය මෙසේ ය. (Nastasi, B. K., Hitchcock, J., Sarkar, S., Burkholder, G., Varjas, K., & Jayasena, A. (2007). Mixed methods in intervention research: Theory to adaptation. Journal of Mixed Methods Research, 1(2), 164–182.). එහි සදහන් මිශ්‍ර පර්යේෂණ පිරිසැලසුම් බලන්න.

Abstract
The purpose of this article is to demonstrate the application of mixed methods research designs to multiyear programmatic research and development projects whose goals include integration of cultural specificity when generating or translating evidence-based practices. The authors propose a set of five mixed methods designs related to different phases of program development research: (a) formative research, Qual →/+ Quan; (b) theory development or modification and testing, Qual → Quan →/+ Qual → Quan ... Qual → Quan; (c) instrument development and validation, Qual → Quan; (d) program development and evaluation, Qual →/+ Quan →/+ Qual →/+ Quan ... Qual →/+ Quan, or Qual →← Quan; and (e) evaluation research, Qual + Quan. We illustrate the application of these designs to creating and validating ethnographically informed psychological assessment measures and developing and evaluating culturally specific intervention programs within a multiyear research program conducted in the country of Sri Lanka.